නාවික හමුදාවේ ටෙහානි එගොඩවෙල ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබයි

මැයි 31, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල, කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගෙන ඇත.

නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කරනු ලබන නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල  කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියනු ලබන අතර කාන්තා තුන් ඉරියව් මීටර් 50 රයිෆල් 0.22 ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියන බව නාවික හමුදාව පවසයි.

2016 වර්ෂයේ ඉන්දියාවේදී සහ 2019 වර්ෂයේ නේපාලයේ දී පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලයන්හිදී කාන්තා මිටර් 50 රයිෆල් 0.22 කණ්ඩායම් ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්ව ඇත.

නාවික හමුදා ආරංචි මාර්ග වලට අනුව ඇයගේ විශිෂ්ට දක්‍ෂතා හේතුවෙන් ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉසව්වෙන් ඉදිරියෙන් සිටීම නිසා මෙලෙස 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබිණි.