නික්මයන රුසියානු ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ජුනි 04, 2021

රුසියානු සමූහ ආණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ශ්කොඩා සිය ධූර කාලය අවසන් කිරීමෙන් පසු නික්ම යාමට ප්‍රථම ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (ජූනි 04) දින ආරක්ෂක අමාත්‍යංශයේදී හමුවිය.

ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය විසින් කර්නල් ශ්කොඩා සහ ශ්කොඩා මහත්මිය පිළිගන්නා ලදී.

සිය ධූර කාලය තුලදී ලබාදුන් සහයෝගය පිළිබඳව  ශ්කොඩා මහතා ආරක්ෂක ලේකම් වෙත සිය ස්තූතිය පලකලේය.

දීර්ඝ කාලිනව දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා පිලිබද සිහිපත් කරමින් ජෙනරල් ගුණරත්න යුද, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, ආරක්ෂක අමාත්‍යංශය සහ එහි කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කිරීම  පිලිබද කර්නල් ශ්කොඩා හට ප්‍රසංශා කරන ලදී.

තවද, දෙරට අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔහු ලබාදුන් සහයෝගය පිළිබඳ ආරක්ෂක ලේකම් මෙහිදී අගය කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරු කර ගැනීමක්ද මෙහිදී සිදුවිය.

කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම හමුව පවත්වන ලදී.

හමුදා සම්බන්ධතා නිළධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, අතිරේක ලේකම් (ආරක්ෂක) පීබීඑස්සී නෝනිස් සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිළධාරීන්ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.