පුත්තලම් දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත්වූවන් නාවික හමුදාවෙන් බේරා ගැනේ

ජුනි 05, 2021

ශ්‍රී ලංකා නාවික හමුදා සහන කණ්ඩායම් විසින් ගං වතුරට කොටු වී අවධානම් තත්ත්වයේ සිටි පුද්ගලයින් 29 දෙනෙකු බේරාගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව, පුත්තලම් දිස්ත්‍රික්කයේ කීරීයංකල්ලි, පුලිච්චිකුලම් සහ බත්තුලුඔය යන ප්‍රදේශ වල ළමුන් හා කාන්තාවන් ඇතුළුව පවුල් 10 ක පුද්ගලයින් බේරාගෙන ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කල බව නාවික හමුදාව පවසයි.

මේ වන විට ගං වතුර අවධානම පැනනැගි ඇති බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 16ක් යොදවා ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග තහවුරු කරයි.

බස්නාහිර පළාතේ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කයන්ට අයත් ගම්පහ, ජා ඇල, රාගම, බුලත්සිංහල, පරගොඩ යන ප්‍රදේශ වල ද, දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්ට අයත් තවලම, හිනිදුම, නාගොඩ, ඒප්පල, ඇතිමලේ සහ අතුරලිය යන ප්‍රදේශ ද, වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කීරීයංකල්ලි, පුලිච්චිකුලම් සහ බත්තුලුඔය යන ප්‍රදේශ ද, සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත සහ කලවාන ප්‍රදේශද ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් සහන කණ්ඩායම් යොදවා ඇත.

තවද, අවශ්‍යතාවය මත කඩිනමින් ස්ථානගත කිරිම සඳහා තවත් අමතර සහන කණ්ඩායම් සුදානමින් ඇති නාවික හමුදාව පවසයි.