‘මිත්‍ර ශක්ති VI’ හෙට සිට ආරම්භ වේ

මාර්තු 25, 2019

ඉන්දියානු යුද හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදාව අතර පවත්වන 'මිත්‍ර ශක්ති - VI' අභ්‍යාසය අඟහරුවාදා (මාර්තු 26) දින දියතලාව 1 ගැමුණු හේවා රෙජිමේන්තු පරිශ්‍රයේ දී ආරම්භ වීමට නියමිත බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. සති දෙකක් පුරා පැවැත්වෙන මෙම අභ්‍යාසය දෙරටේ හමුදා අතර පවතින සම්භන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කර ඇත.

මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාස වැඩසටහනේ අරමුණ වනුයේ යුධ උපක්‍රම පිළිබඳව දෙරට අතර ඇති දැනුම හුවමාරු කර ගැනීමයි. එහිදි පාබල අවි ආයුධ ඵලදායී ලෙස යොදා ගැනීම, පාබල හමුදා තාක්‍ෂනය, ප්‍රති ත්‍රස්ථ විරෝධි ක්‍රියාවන්, කුඩා කණ්ඩායම් මෙහෙයුම්, දිගුදුර මෙහෙයුම්, ත්‍රස්තවාදී සැඟවුනු බෝම්බ ප්‍රහාර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හා දෙරට අතර වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව පුහුණු අභ්‍යාසයන් පැවැත්වේ. මෙම යුධ අභ්‍යාසය ඉන්දීය යුද්ධ හමුදා සමාජිකයින් 120 ක පමණ පිරිසක් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

කර්නල් පර්තසාරති රෝයි (Colonel Parthasarathy Roy), කර්නල් සොම්බිත් ගෝෂ් (Colonel Sombit Gosh), මේජර් පුජම් මන්හස් (Major Pujam Manhas) සහ මේජර් රෝහිත කුමාර් ත්‍රිපති (Major Rohith Kumar Tripathi) විසින් ඉන්දියානු කණ්ඩායම මෙහෙයවනු ලබයි. 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර් ජයපතිරණ මෙම අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරනු ලබයි.