ගුවන් හමුදාවෙන් ගම්පහ රෝහලට ඔක්සිජන් චිකිත්සා ඒකකයක්

ජුනි 06, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් (Heated Humidified Oxygen Therapy Unit) ඊයේ (ජුනි 5) දින ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට භාර දෙන ලදී.

කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ කට්ටලය භාවිතා කරන බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදාව පවසන පරිදි, මෙම උපකරණ කට්ටලය ගම්පහ එක්සත් වෙළද සංගමයේ අනුග්‍රාහකත්වයෙන් කටුනායක ගුවන් හමුදා කදවුරේ ප්‍රධාන ඉංජිනේරු අංශය විසින් නිෂ්පාදනය කර ඇත.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා වෙත මෙම උපකරණ කට්ටලය භාර දෙන ලදී.

කොවිඩ් - 19 වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් පවත්වන ලද මෙම කෙටි භාරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාෂල් එම්ඩී රත්නායක, ගුවන් හමුදා නිලධාරීන්, ගම්පහ එක්සත් වෙළද සංගමයේ සමාජිකයින් සහ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලය සහභාගී වුහ.