ගිනි අවි හා යතුරු පැදි ගත් සියු­මැලි දෑත්

ජුනි 06, 2021

තාරක වික්‍රමසේකර 

කොවිඩ් 19 රෝගය පැතිරීම එක්වරම හිස එසවා වේගයෙන් පැතිර ගිය දිස්ත්‍රික්කයක් ලෙස යාපනය හැඳින්විය හැකිය. ඊට හේතු වූයේ උතුරේ බොහෝ සාමාන්‍ය ජනතාවගේ දැනුවත්භාවය අඩුවීමයි. එමනිසා රෝග ව්‍යාප්තිය වැඩිවිය හැකි බවට සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීම් පවා ලැබී තිබුණි. නාගදීපයේ පැවැත්වීමට නියමිත වූ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කිරීමට සිදුවූයේත් උතුරේ බොහෝ ගම්මාන හුදකලා කිරීමට සිදුවූයේත් එම නිසාය. ඒ සමඟම යාපනය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසක කොවිඩ් 19 මර්දන එන්නත් ලබාදීමද ආරම්භ කෙරුණි. මේ නිසා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනිවාර්යෙන්ම පැවතිය යුතුම විය.

ඒ සම්බන්ධව අවධානය යොමු කළ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපතිගේ ශවේන්ද්‍ර සිල්වා අපූරු සංකල්පයක් ඉදිරිපත් කෙළේය. එය මීට පෙර ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක දැක නොතිබුණු ස්ථාපිත කර නොතිබූ සංකල්පයකි. ඔහු කාන්තා යතුරුපැදි කණ්ඩායමක් ක්ෂණික ප්‍රතික්‍රියා ධාවන පැදි ඛණ්ඩයක් ලෙස ස්ථාපිත කරන්නැයි යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයාට දැනුම් දුන්නේය. ඒ සංකල්පය අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරාගේ අධීක්ෂණය යටතේ ක්ෂණික ප්‍රතික්‍රියා ධාවන පැදි ඛණ්ඩයක් යාපනයේ ස්ථාපිත කෙරුණි.

"මේ ක්ෂණික විහිඳුම් කාන්තා බළකාය හරහා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව රැක දෙමින් නිරෝධායන නීතිරීතිවලට ඔවුන් අනුගත කරමින් කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමයි අපට අවශ්‍ය වුණේ. ඒ සඳහා ප්‍රථම වරට කාන්තා බළකායක් ස්ථාපිත කිරීම තුළින් අලුත් අත්දැකීමක් ලබන්නට මෙන්ම එය ප්‍රායෝගිකව ජනතාවගේ සිත් ඇද ගන්නට හැකි සංකල්පයක් වේ යැයි අපි කල්පනා කළා. ඒ අනුව මේ ක්ෂණික ප්‍රතික්‍රියා ධාවන පැදි ඛණ්ඩය ස්ථාපිත කළා. ඒ හරහා අපට බොහෝ දේ කළ හැකියි." යාපනය ආඥාපතිවරයා පෙන්වා දුන්නේය.

එය අපූරු නිර්මාණයකි. මෙතෙක් කල් අප සැවොම දැක ඇත්තේ වේගයෙන් යතුරුපැදි පැදගෙන යන ක්ෂණික විහිඳුම් බළකා හමුදා සෙබළුන්ය. එක් අයෙක් යතුරුපැදිය වේගයෙන් පැදගෙන යන අතර පසුපස යන්නා අවිය අත තබා ගෙන යයි. ඒ සංකල්පයම මේ කාන්තා බළකායටද ලබා දී ඇත.

ඒ සම්බන්ධව කණ්ඩායම මෙහෙයවන්නට බාර කෙළේ ශ්‍රී ලංකා යුද හමුදා 7 වන කාන්තා බළකායේ අණ දෙන නිලධාරී මේජර් රශ්මි ගල්හේනටය. මේජර් රශ්මි ගල්හේන පැවසුවේ තම ක්ෂණික ප්‍රතික්‍රියා ධාවන පැදි ඛණ්ඩයට ජනතාවගේ හොඳ ප්‍රතිචාර ලැබුණු බවයි.

"මේක අපටත් අලුත් අත්දැකීමක්. ඒ වුණත් අපි ඕනෑම කාර්යයක් බාර ගන්නට බලා සිටින කටයුතු කරන නිසා, ඕනෑම අභියෝගයක් බාර ගැනීමට අප සූදානමින් ඉන්නෙ. අපේ ප්‍රධාන අරමුණ වුණේ මේ වසංගත තත්ත්වය පාලනය කිරීම උදෙසා පුළුවන් උපරිම සහයෝගය ලබාදීමයි. අපට සතුටු වෙන්න පුළුවන් රාජ්‍ය නිලධාරීන්ගෙන් වගේම ජනතාවගෙන් අපට උපරිම සහයෝගයක් ලැබීම ගැන. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් උපදෙස් දෙනවාට වඩා අපි උපදෙස් දෙනකොට එය සාවධානව අසා සිටින්නට ඔවුන් උනන්දු වුණා. අපි පාරෙ යද්දි පවා වාහන පදවාගෙන එන අය අප දෙස බලමින් යන්නට වුණා. අපිට බයකුත් ඇතිවුණා වාහන හප්ප ගනියිද කියලත්.

අපේ සමූහයේ දෙමළ ජාතික අය වගේම කාලයක් තිස්සේ යාපනයේ සේවය කරල දෙමළ භාෂාව දන්න, එහෙමත් නැත්නම් දෙමළ ජනතාවගේ සංස්කෘතිය දන්න අය හිටපු නිසා අපිට හරි පහසුවක් වුණා. ඒ වගේම ඒ අයගේ පිළිගැනීම තවත් වැඩි වුණා.

අපි උරුම්පිරායි කියන ධීවර ගම්මානයටත් ගියා. ඒ අය අපි ප්‍රදර්ශනය කරපු බෝඩ් දිහා බලල සතුටු වුණා. ඒ ධීවර ගම්මානවල ගෙවල් කිට්ටුව තියෙන්නෙ. අපි උපදෙස් සහිත බෝඩ් ප්‍රදර්ශනය කරහම ඒ අය බොහෝ කරුණු ඉක්මනින් වටහා ගත්තා. ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්."

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කළ ක්ෂණික ප්‍රතික්‍රියා ධාවන පැදි ඛණ්ඩය යතුරු පැදි කාන්තා බළකායට කාන්තා නිලධාරිනියන් 4 දෙනකු සහ සෙසු නිලයන් 100ක් ඇතුළත්ය. ඒ අතුරින් බහුතර සෙබළියන් දෙමළ ජාතික තරුණියන් වීමද මෙහිලා පැසසුම් කටයුතුය. එය හුදෙක් මේ කටයුත්ත සාර්ථක වීමට පමණක් නොව සංහිඳියාවටද මඟ පාදන්නකි. මේ බළකායේ නිලධාරිනියන් උසස් අධ්‍යාපනය ලත් අය වන අතර සෙසු නිලයන් අපොස උසස් පෙළ සමත් අය වීමද විශේෂත්වයකි. එමෙන්ම බහුතර පිරිසක් සිංහල , දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම දන්නා අය වෙති.

මේ බළකායේ ප්‍රධානම කාර්යයන් වන්නේ ක්ෂණිකව විහිඳී ගොස් නිරෝධායන නීති කඩකරන්නන්ට උපදෙස් ලබා දී නිසි පරිදි සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙස දැනුම් දීමයි. අප පෙර කී ලෙසින් මීට පෙර මෙවන් විහිඳුම බළකා ලෙසින් ඇසට හුරුව ඇත්තේ හමුදා සෙබළුන් නිසා කාන්තා බළකායේ උපදෙස්වලට බොහෝ දෙනා ඉතා සාවධානයෙන් සවන් දෙනු පෙනේ. විශේෂයෙන්ම මේ දිනවල යාපනයේද කොවිඩ් මර්දන එන්නත ලබා දෙන නිසා සියලු දෙනා සෞඛ්‍යාරක්ෂිත ලෙසින් කටයුතු කළ යුතුය. ඒ උදෙසා මේ කාන්තා බළකායෙන් අපූර්ව ක්‍රමවේදයක්ද අනුගමනය කරයි.

ඔවුන් කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන ස්ථානවලට පළමුව ගමන් කර අදාළ සෞඛ්‍යාරක්ෂිත බව දැක්වෙන පුවරු ප්‍රදර්ශනය කරනු ලැබ්. එය දකින වැසියන්ද ඒ අනුවම අත් සේදීම, මුව ආවරණ නිසි ලෙසින් පැලඳීම, මීටරයක අවම දුර පවත්වා ගැනීම ඇතුළු සියලු පිළි­‍ෙවත් රකින බව කිව යුතුය.

පසුගිය 1 වැනිදා පේදුරුතුඩුවේ හා 2 වැනිදා යාපනයේ පැවැති එන්නත්කරණ වැඩපිළිවෙළේදී මේ තත්ත්වය ඉතා මැනවින් කැපී පෙනුණි. ඇත්තෙන්ම කියනවානම් දකුණේ මෙන් කිසිවෙකු පොරකෑවේ නැත. පිළිවෙළින් ගොස් අදාළ එන්නත්කරණයට සහභාගි වූයේ කාන්තා බළකායේ මේ නව ක්‍රියාදාමය නිසාය.

එසේම මේ බළකායේ තවත් කාර්යයක් වන්නේ ප්‍රදේශයේ ආරක්ෂාවද සොයා බැලීමයි. නිරෝධායන කටයුතු කරනා අතර තුරේම ඒ සම්බන්ධයෙන්ද සොයා බැලීමද ඔවුන්ගේ රාජකාරියට අයත් වන්නකි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද පැවරී ඇති වගකීමද ඔවුහු නිසි පරිදි ඉටු කරන්නට කටයුතු කරති. ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුත්තේ පසුගිය 28 වැනිදා යාපනය නාගර්කෝවිල්හිදී වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය හමුවීම නිසාය. එසේ යම් යම් රහසිගත ත්‍රස්ත ක්‍රියාවන් සිදුවන්නේද යන්න සොයා බැලීම ඔවුන්ගේ කාර්යයන්ට අයත් වන්නේය.

කාන්තා බළකායේ 100 දෙනකුගෙන් සමන්විත වූ මේ බළකායේ වරකට 24 දෙනකු කණ්ඩායමේ ගමන් කරයි. ඒ අනුව යතුරුපැදි පැදිකාරියන් 12 දෙනකු හා පසුපස ආරක්ෂක ගිනි අවි රැගෙන යන්නියන් 12 දෙනකුගෙන් එය සමන්විතය. මේ බළකාය ක්ෂණිකව විහිදී යන අතර උදෑසන සිට පස්වරුව දක්වා කොවිඩ් මර්දන සහායේ මේ කටයුතුවල නියැළී සිටිති. රාත්‍රී කාලයට ඔවුන්ගේ රාජකාරිය නිලධාරීන් හා සෙබළුන් විසින් ඉටු කරනු ලැබේ.

ඔවුන්ට රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙන්ම ජනතාවගෙන් ලැබෙන්නේ ඉහළම ප්‍රතිචාරයකි. පසුගිය මස 25 වැනිදා ආරම්භ කළ මේ බළකායේ කාර්යයන්ට ලැබෙන ජනතා ප්‍රතිචාර මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රතිචාරයද ඉතා ඉහළය. විශේෂයෙන්ම මේ කාර්යයයේ නියැළී සිටින්නේ තරුණියන් වීම නිසා ජනතා ආකර්ෂණය වඩාත් ඉහළය.

පළමු අදියර මෙසේ ඉතා සාර්ථක වී ඇති හෙයින් ඉදිරියේදී තවත් මෙවන් ක්‍රමවේදයන් කාන්තා බළකාය හරහා ඇරැඹෙනු ඇත. යුද හමුදාවේ ආදර්ශ පාඨයම ඉස්මතු කරමින් කාන්තා බළකාය ද යුද හමුදාවට ‘නොහැක්කක් නොමැත‘ යන්න අපූරුවට පසක් කර තිබේ.

උපුටා ගැනීම : www.silumina.lk