ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විද්‍යාපීඨයේ තුන්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය ආරම්භ වේ

මාර්තු 24, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විද්‍යාපීඨයේ (SLCOMM) තුන්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය සිකුරාදා (මාර්තු 22) දින අත්තිඩිය ඊගල් උත්සව ශාලාවේදී ආරම්භ විය. මෙහි සමාරම්භක උත්සවය ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙහි විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී විය.
මෙවර මෙම සැසිය " Military Medicine- Looking Ahead: Enhancing Military-Civilian Medical Synergies" යන තේමාව යටතේ පවත්වන ලදී. සති අන්තයේ දී දින දෙකක් පුරා (මාර්තු 23 සහ 24) මෙම සැසිය පැවැත්වේ. දේශීය සහ විදේශීය කථිකයන් 32 දෙනෙකු විසින් ‘යුදබිමේ තුවාල ලැබුවන් සඳහා ප්‍රතිකාර, ජලය යට ප්‍රතිකාර කිරීම්, ගුවනේදී ප්‍රතිකාර කිරීම්, කාන්තාවන්, ළමයින් හා යුද හමුදාව, දැඩි සත්කාර කටයුතු, විකලාංග ප්‍රතිකාර, දන්ත වෛද්‍ය ප්‍රතිකාර, සෞක්‍ය සම්පන්න ජිවිතයක් සඳහා අවශ්‍ය උපදෙස් සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව යන මාතෘකා යටතේ සිය දැනුම සහ අත්දැකීම් බෙදාහදාගැනීම සිදුකරයි.

මෙම සමුළුවෙහි ආරම්භක දේශනය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් සිදුකරන ලදී. ප්‍රධාන දේශනය ජාත්‍යන්තර හමුදා වෛද්‍ය කමිටුවේ (ICMM) මහලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය රොජර් වෑන් හූෆ් (Major General (Retd) Dr. Roger Van Hoof -MD) විසින් සිදුකරන ලදී.

සමාරම්භක දේශනය පවත්වමින් රාජ්‍ය අමාත්‍යතුමන් මෙවැනි වැඩසටහන් තුලින් හමුදා වෛද්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය වැඩිදියුණු වන බව පැවසිය. හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අතර යුදබිම තුල සිදුකරනු ලබන ප්‍රතිකාර තුලින් වෛද්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයට බෙහෙවින් බලපාන බව ඔහු පැවසීය.

අප රට තුළ පැවතී යුද්ධයේදී වෛද්‍යවරුන් තම ජිවිත අවධානමද පසෙක ලා සිදුකල සේවය ඉතා ප්‍රසංසනීයයි. වෛද්‍ය විද්‍යාවේ අභිවුර්ධිය වෙනුවෙන් හමුදා වෛද්‍ය ක්ෂේත්‍රයෙන් විශාල පිටුවහලක් ලැබේ. හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය, වෛද්‍ය වෘත්තිකයින්ගේ හැකියාවන් වර්ධනය කරගැනීමට කදිම තෝතැන්නක් වන අතර එය හමුදා සෙබළුන්ට පමණක් නොව සාමාන්‍ය වැසියන්ටද ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇති බවද ඔහු තවදුරටත් පැවසිය.

හමුදා හා සිවිල් වෛද්‍ය සේවා අතර පවතින බෙදීම් අසාමාන්‍ය සහ ව්‍යාජ එකක් වේ. හමුදා වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සිදුවන්නේ ඒ ඒ පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම තුලින් පමණක් නොව ආයතනයක් ලෙස ඉදිරියට යාමකි. වර්තමානයේ පවතින ආරක්‍ෂක අභියෝගයන්ට ප්‍රතිචාර දක්වමින්, හමුදා වෛද්‍ය වෘත්තිකයන් ජෛව ත්‍රස්තවාදය, වසංගත රෝග පාලනය, ස්වභාවික විපත් සහ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද විකිරණ ආපදා වැනි ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයන් බව ඔහු වැඩිදුරටත් පැවසිය.

හදිසි ආපදා අවස්තාවලදී මෙන්ම පස්චාත් ආපදා අවස්ථාවලදී ද විශේෂයෙන්ම 2004 සුනාමි අවස්ථාවේදී වැනි මානව හිතවාදී ආධාර සහ ආපදා සහන සඳහා ප්‍රථමයෙන්ම ප්‍රතිචාර දක්වන්නේ හමුදා වෛද්‍ය අංශයන් බවත් සුනාමි අවස්ථාවේදී ඔවුන්ගේ දායකත්වය ද එතුමන් විසින් ප්‍රසන්සනාත්මකව සිහිපත් කළේය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලදී හමුදා වෛද්‍ය සහ දන්ත වෛද්‍ය අංශයන් සිදුකරනු ලබන සේවය ඔහු අගය කරනු ලැබීය.

රටේ සංවර්ධන ක්‍රියාවලියේ දී ත්‍රිවිධ හමුදාව විසින් ඇති විශාල භූමිකාවක් ඉටුකරනු ලබන මෙවන් මොහොතක මෙවැනි සමුළුවක් පැවැත්වීම ඉතාමට් කාලෝචිත බව මෙම සමුළුව අමතමින් ආරක්‍ෂක ලේකම් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

සංකීර්ණ අවි ආයුධ නිෂ්පාදනයත් සමගන හමුදා වෛද්‍ය අංශයේ ද දියුණුවක් ඇතිවිය යුතු බවත්, එම දැවැන්ත කර්තව්‍යට හමුදා වෛද්‍ය සේවයේ කැපවීම සහ දායකත්වය බෙහෙවින් අගය කරන බවත් ඔහු පැවසීය. වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ අපේ රට තුළ යුද්ධයක් අත්විඳ ඇති අතර එම අඳුරු යුගයන්හි දී හමුදා වෛද්‍ය සහ සහ දන්ත වෛද්‍ය අංශයන්හි සේවයේ නියුතු අයවලුන් සෑම අංශයකම අත්දැකීම් ලබා ඇති අතර, එම වකවානුව තුල විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඔවුන් සිදුකල සේවය මහත් සේ අගය කරන බව ද එතුමන් පැවසිය.

අප රටේ තවදුරටත් කිසිදු යුද්ධයක් නොපවතින බවත්, දැනට රටේ සංවර්ධන කටයුතු සඳහා හමුදා අංශ විශාල වශයෙන් දායක වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. තවද වෛද්‍ය පහසුකම් හා ඖෂධ සැපයීම මගින් ජනතාව සුවපත් කිරීම පමණක් නොව, සියලු ප්‍රජාවන් හා හමුදා බලකායන් එකට එකතු කර රටේ යහපත උදෙසා සමාජීය සහ වාර්ගික වෙනස්කම් ඉවත් දා එක්සත්ව කටයුතු කිරීමට සිතාගත යුතු බවද එතුමන් තවදුරටත් පැවසිය.

ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, තානාපති කාර්යාල නිලධාරින් සහ විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.