ලකඹර රැකුමට සැදි තවත් ගුවන් යානා තුනක් ආරක්ෂක ලේකම් විසින් පිළිගැනේ

ජුනි 12, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් 'ඇන්ටනොව් 32 (AN 32)' වර්ගයේ ගුවන් යානා තුනක් අලුත්වැඩියා කිරීමෙන් පසු ඊයේ (ජුනි 11) සවස මෙරටට පැමිණෙන ලදී.

මෙම ගුවන් යානා ත්‍රිත්වය කටුණායක ගුවන් හමුදා ගුවන්පථයෙන් දිවයිනට පැමිණි අතර එම ගුවන් යානා පිළිගැනීමේ අවස්ථාව, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවත්විය.

මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෙනරල් ගුණරත්න පැවසූයේ, මෙරට මුහුදු කලාපයේ මුහුදු මංකොල්ල කරුවන්ගේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා සිදුකරනු ලබන නාවික මෙහෙයුම් සදහා නිරීක්ෂණ සහාය ලබා දීම සහ දේශීය විදේශීය ආපදා කළමනාකරණ කටයුතු සඳහා මෙම ගුවන් යානා යොදා ගන්නා බවයි.

 පසුගිය යුද සමයේදී මෙම ගුවන් යානා විසින් සිදුකළ මෙහෙවර පිළිබඳ සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, භට පිරිස් ප්‍රවාහනය කිරීම, බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීම, තුවාල ලැබූ රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ මෘත දේහයන් ප්‍රවාහනය කිරීම වැනි කටයුතු සඳහා මෙම ගුවන් යානා වැඩි වශයෙන් භාවිතා කළ බවයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා ශක්තිය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා වසර  හතක් තිස්සේ පියාසර කල නොහැකිව බිම් ගත කර තිබූ මෙම ගුවන් යානා නැවත සක්‍රීය තත්ත්වයට පත්කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අළුත්වැඩියාවෙන් පසු මෙම ගුවන් යානා නැවත මෙරටට පැමිණීම ආරක්ෂක අමාත්‍යාංශයට හා ගුවන් හමුදාවට සුවිශේෂී අවස්ථාවක් බවද මෙහිදී ඔහු පැවසීය.

මෙම අලුත්වැඩියා කටයුතු සඳහා විශේෂ කැපවීමක් කල එම කාර්යය මණ්ඩලය, ආරක්ෂක ලේකම් සහ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ විසින් ඇගයීමට ලක්කරන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු සිහිවටන හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.

Sinhala.