භාවිතයෙන් ඉවත් කල බස්රථ නවතන දිය යට නිවහන

ජුනි 12, 2021

* උතුරු මුහුදේ කෘතිම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ඊයේ (ජුනි 11) දින දියත් කරන ලදී.

යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය ඉහළ නැංවීමට මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන බව නාවික හමුදාව පවසයි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස, භාවිතයෙන් ඉවත්කරන ලද බස් රථ 20ක් යාපනය දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ගිල්වීම සිදු කරනු ලබන අතර එමගින් සමුද්‍රීය පරිසරයට හිතකර උපස්තර නිර්මාණය වනු ඇත.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් 'සයුරු' කැණීම් නෞකාව මගින් භාවිතයෙන් ඉවත් කළ බස්රථ හතරක් ඊයේ දින උතුරු නාවික විධානයේ දායකත්වයෙන් ආරක්ෂිතව දිය යට තැන්පත් කරන ලදී.

තවද මෙම ව්‍යාපෘතිය මගින් වෙරළාසන්න මුහුදේ ඇති වන ජෛව විවිධත්වය සමගින් අනාගතයේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.