මිලියන 71 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ජුනි 14, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුවේදී කේරල ගංජා කිලෝ 237 යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් තිදෙනෙකු අද (ජුනි14) දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

උතුරු නාවික විධානය මගින් පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කළ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, එහි ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා සහිත ගෝනි 02 ක් සොයා ගන්නා ලදි.

පසුව සැකකරුවන්ගෙන් අණාවරණය කරගත් තොරතුරු මත නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී සැකකරුවන් විසින් මුහුදට දමා තිබූ තවත් කේරළ ගංජා සහිත ගෝනි 06ක් සොයා ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 28ත් 29ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කර ගැනීමට හැකි විය.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ අතර මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.