යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රකාශය

ජුනි 15, 2021

2021 ජුනි 10 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය කනගාටුව පළ කරයි. ‘ශ්‍රී ලංකාවේ තත්ත්වය, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම්’ යන මාතෘකාවෙන් යුත් මෙම යෝජනාවේ අඩංගු කරුණු සාවද්‍යතාවයන්ගෙන් යුක්ත වන අතර, ප්‍රතිසන්ධානය හා සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති බහුවිධ ප්‍රගතිය පිළිබඳව සැලකිල්ලට නොගනී.

ආරම්භයේ දීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යොදාගෙන ඇත්තේ තම ජනතාව මත සිදුකරන ලද දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවන්ට විසඳුම් සෙවීම සඳහා බව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි. මෙම සන්දර්භය තුළ, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් යුරෝපා සංගම් ජාතිකයන් කිහිප දෙනෙකු ද ඇතුළුව සැලකිය යුතු ජීවිත හානි සංඛ්‍යාවක් සිදු වූ බව සිහිපත් කෙරේ.

ශ්‍රී ලංකා රජය ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සියලු අංශ ආවරණය කරමින්, විදේශ අමාත්‍යංශය හරහා යුරෝපා සංගමය (EU) සමඟ නිත්‍ය, විචිත්‍රවත් හා සුහද සංවාදයක් පවත්වා ගෙන යන බව අවධාරණය කිරීම වැදගත් වේ. බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය මඟින්,  යුරෝපා කොමිසම, යුරෝපා කවුන්සිලය සහ යුරෝපීය පාර්ලිමේන්තුව සමඟ සහ රජයේ ජ්‍යෙෂ්ඨ මැදිහත්කරුවන් මඟින් කොළඹ සිටින යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම සහ යුරෝපා සංගම් තානාපතිවරුන් සමඟ සමීප හා සුහද සංවාදයක් රජය විසින් පවත්වාගෙන යනු ලැබේ.

මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ ජීඑස්පී + මූලික ජාත්‍යන්තර සම්මුතීන් 27 ට අනුකූල වීම සමාලෝචනය කිරීම සඳහා යුරෝපා කොමිසම සමඟ ඵලදායී ලෙස  සම්බන්ධ වී සිටී. 2020-2021 සඳහා යුරෝපා සංගමයේ ජීඑස්පී + අධීක්ෂණ ක්‍රියාවලියේ තුන්වැනි චක්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. මේ සම්බන්ධයෙන්, 2020-2021 සඳහා යුරෝපා සංගමයේ ජීඑස්පී + අධීක්ෂණ ක්‍රියාවලියේ සමාලෝචන පිළිබඳ තුන්වැනි චක්‍රය ක්‍රියාත්මක වෙමින් පවතී.

2021 ජනවාරි මස රැස්වූ වාර්ෂික යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 23 වැනි සැසිවාරයේ දී, පුළුල් පරාසයක සහයෝගීතාව සම්බන්ධ ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව යුරෝපා සංගමය වෙත දැනුම් දුන්නේය. මෙම ඒකාබද්ධ කොමිෂන් සභාවේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන අදාළ ක්‍රියාකාරී කණ්ඩායම් සහ කමිටු හරහා වැඩිදුර යාවත්කාලීන කිරීම් සපයනු ලැබේ.

යෝජනාවේ සඳහන් වැදගත් කරුණු සම්බන්ධයෙන්, නිවැරදි කිරීමේ අරමුණෙන් යුතුව පහත සඳහන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

සිය ව්‍යවස්ථාමය වරම හා ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සිය සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව නිශ්චිත විධිවිධාන මඟින් නීතිය ඉදිරියේ සියලු පුද්ගලයින් එක හා සමාන වන අතර නීතියේ සමාන ආරක්ෂාවක් හිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය මගින් ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ වෙනත් එවැනි හේතු පදනම් කොටගෙන වෙනස් කොට සැලකීම තහනම් කරයි.

යුරෝපා සංගමය වෙත සන්නිවේදනය කොට ඇති පරිදි, රජය සිය බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ප්‍රයත්නය සම්බන්ධයෙන්, රජය විසින් අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා දැනට පවත්නා නීති අධ්‍යයනය කරමින් සිටින අතර, වෙනත් අධිකරණ බලයන් විසින් අනුගමනය කරනු ලබන ජාත්‍යන්තර විශිෂ්ඨ පරිචයන් පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත. ශ්‍රී ලංකාවේ මුස්ලිම් හෝ වෙනත් සුළුතර කණ්ඩායම් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රමානුකූලව භාවිතා කර ඇති බවට කරනු ලබන ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ක්‍රියා පටිපාටියට අනුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක බහුතරයකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වූ බව ප්‍රකාශ කරනු ලැබේ. එවැනි නීති සම්පාදනය සම්බන්ධයෙන්, මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ඇතුළුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පත් සම්මත කිරීම වැළැක්වීම අරමුණු කරගත් විනිවිදභාවය සහ අධිකරණ සමාලෝචනයට අදාළව එහිම අඩංගු වන ආරක්ෂණ ගණනාවක් පිළිපදිනු ලැබ ඇත.

වගවීම පිළිබඳ ගැටළු විසඳීම සහ ප්‍රතිසන්ධානයෙහි අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රජය මානව හිමිකම් කවුන්සිලය මෙන්ම යුරෝපා සංගම් මැදිහත්කරුවන් ද නිරන්තරයෙන් යාවත්කාලීන කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව; අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය; වන්දි ගෙවීමේ කාර්යාලය; ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය; ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සහ පුනරාවර්තනය නොවීම සහ වෙනත් විශ්වාසය ගොඩනැගීමේ පියවර අරමුණු කරගත් අදාළ ආයතනික ප්‍රතිසංස්කරණ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන යාන්ත්‍රණවලට ඇතුළත් වේ. තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන්, තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම සඳහා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර් අමාත්‍ය කමිටුව සුවිශේෂී වේ.

සෞඛ්‍ය සහ ආරක්ෂක කොන්දේසි ඇතුළුව, ශ්‍රී ලංකාවේ කම්කරු අයිතිවාසිකම් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල වේ. ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශය තුළින් පිළිබිඹු වන පරිදි, නිෂ්පාදන කර්මාන්තය තුළ පවත්වා ගෙන යනු ලබන ඉහළ ශ්‍රම ප්‍රමිතීන්, වඩාත් උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ ඉහළ අගය එකතු කළ අපනයන සඳහා හේතු වී තිබේ. ශ්‍රී ලංකාවෙන් ‘ආචාරධර්මවලට අනුකූල’ නිෂ්පාදන සඳහා ඇති ඉහළ ඉල්ලුම මත නිෂ්පාදනය ඉහළ නැංවීම, පසුකාලීන ආයෝජන සහ ශ්‍රී ලංකාවේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා හේතු වී තිබේ. යුරෝපා සංගමයේ ජීඑස්පී + සහන මඟින් මෙම ක්‍රියාවලියට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති අතර, එමඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට මෙන්ම යුරෝපා සංගම් වෙළඳපොළට ද ප්‍රතිලාභ සැලසේ. එසේම, ධීවර අංශය ද යුරෝපා සංගමයේ ජීඑස්පී + සහනවලින් ප්‍රතිලාභ ලබා ඇති සැලකිය යුතු වර්ධන අංශයක් වේ.

ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදයක් දිගු කලක් තිස්සේ පවතී. මධ්‍යස්ථභාවය, නොබැඳි ප්‍රතිපත්තිය සහ මිත්‍රත්වය යන මූලධර්ම මත රටේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තිය පදනම් වී ඇත. සිය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රජය කැපවී සිටී. 2019 නොවැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත 06 වැනි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රකාශක විසින් සඳහන් කරන ලද පරිදි, මැතිවරණය ක්‍රියාත්මක කෙරුණු සාමකාමී වාතාවරණය මඟින් “රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්ථාවරත්වය සනාථ කරයි”. මෙම ප්‍රකාශය අදටත් වලංගුව පවතී.

කොවිඩ්-19 වසංගතය ගෝලීය වශයෙන් අඛණ්ඩව විනාශකාරී බලපෑමක් ඇති කරමින් ආරක්ෂාව, සෞඛ්‍යය, ආර්ථික සුරක්ෂිතභාවය සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවත් වීමේ අයිතිය කෙරෙහි පවා උග්‍ර ලෙස සීමාවන් පනවා ඇත. මෙම වසංගතයට එරෙහිව සිය මුළු ජනගහනයම ආරක්ෂා කිරීමට සහ එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම සඳහා රජය නිරන්තරයෙන් හා සාමූහිකව දරනු ලබන ප්‍රයත්න නොතකා ශ්‍රී ලංකාව දිගින් දිගටම අභියෝගයන්ට මුහුණ දෙයි. මෙම පසුබිම තුළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සමඟ සහජයෙන්ම බැඳී ඇති සියලු ජනතාවගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෝලීය බහුපාර්ශ්වික ආයතන සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන දක්වන කැපවීම රජය අගය කරයි. මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම, එහි ඉලක්කගත ජනගහනය එන්නත් කිරීම, සෞඛ්‍යාරක්ෂාව සහ ආර්ථික පුනර්ජීවනය සැපයීම යන වර්තමාන ප්‍රමුඛතා සමඟ සමපාත වේ.

මෙම තීරණාත්මක කාලසීමාවේ දී, රට තුළ පෙන්නුම් කරන ලද ප්‍රගතිය පිළිබඳව අවබෝධයක් ලබා ගනිමින්, තම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය විය යුතුව පවතී. ශ්‍රී ලංකා රජය පුළුල් පරාසයක කරුණු සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ පවතින හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට අපේක්ෂා කරන අතර, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන් සඳහා ක්‍රියාශීලීව හා ඵලදායී ලෙස සම්බන්ධ වීමට අඛණ්ඩව කැපවී සිටින බව යුරෝපා සංගමය වෙත සහතික කරයි.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 2021 ජුනි 14 වැනි සඳුදා විදේශ අමාත්‍යාංශයේ දී පැවති රැස්වීමක දී කොළඹ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ වැඩබලන තානාපති තෝර්ස්ටන් බාර්ග්ෆ්‍රෙඩ් මහතා සහ කොළඹ සිටින ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවලින් පැමිණි යුරෝපා සංගමයේ තානාපතිවරුන්/වැඩබලන තානාපතිවරුන්ට ඉහත විස්තර කර ඇති පරිදි ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පිළිබඳව පැහැදිලි කළේය. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද මෙම රැස්වීමට සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

මුලාශ්‍රය : Ministry of Foreign Relations