නීතිවිරෝධී වියළි කහ සහ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ජුනි 17, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම, කොන්තම්පිඩ්ඩි සහ සිලාවතුර, අරිප්පු යන වෙරළබඩ ප්‍රදේශවලදී වියළි කහ කිලෝ 370 ග්‍රෑම් 600 ක් සහ බීඩි කොළ කිලෝ 294 ග්‍රෑම් 100 ක් ඊයේ (ජූනි 16) දින අත්අඩංගුවට ගෙන තිබේ.

කොන්තම්පිඩි වෙරළ තීරයේ සිදුකළ වැටලීමේදී වියළි කහ පිරවූ ගෝනි 13 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

අරිප්පු වෙරළ තීරයේ සිදුකල තවත් මෙහෙයුමක දී බීඩි කොළ පිරවූ ගෝනි 03 ක්ද සොයා ගැනීමට සමත්ව ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අවුරුදු 33 සහ 37 යන වයස් වල පසුවන මන්නාරම, පල්ලෙමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.

මෙම සැකකරුවන් නිරෝධායනය සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත භාර දී ඇත.

වියළි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලයට භාර දී ඇති අතර, බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුවන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වැටලීම් සිදු කර ඇති බව ආරංචි මාර්ග සනාථ කරයි.