වසංගත බර කරට ගත් අපේ යුද හමුදා විරුවෝ

ජුනි 18, 2021

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

ශ්‍රී ලංකා යුද හමුදාව පිළිබඳ මේ වන විට ලෝකයේ ඕනෑම පුද්ගලයකු දන්නා තරම්ය. ඔවුන් විසින් සිදු කරනු ලබන මානුෂීය මෙහෙයුම් ඊට හේතු වී ඇත. හමුදාවක් ලෙස දෙන ඕනෑම අභියෝගයක් දක්ෂ ලෙස කළමනාකරණය කරමින් නොබියව ඉටු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව දක් වන සුවිශේෂ දක්ෂතාව ලොව වෙනත් කිසිදු හමුදාවකට නොහැකි තරම්ය.

වසර තිහක් පැවති එල්.ටී.ටී ඊ. කුරිරු ත්‍රස්තවාදය වසර තුනක් වැනි කෙටි කාලයකින් සම්පූර්ණයෙන්ම අවසන් කරමින් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි ලක්ෂ පහකට ආසන්න අහිංසක ද්‍රවිඩ වැසියන් බේරාගනු ලැබුවේ තමන්ගේම මවුපියන්, ඥාතීන්, සහෝදර සහෝදරියන්, දූ දරුවන් බේරාගන්නා බව ලෝකයටම මනාවට පෙන්වමින්ය.

කිරිකැටි දරුවා, ගැබිනි මාතාව, වැඩිහිටි පුද්ගලයන් ප්‍රාණ ඇපයට ගත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් එම පිරිස බේරා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම ලොව සිදු කළ දැවැන්තම මානුෂීය මෙහෙයුම ලෙස ඉතිහාසයට එක් වී ඇත්තේ ශ්‍රී ලංකා මාතාවට රණවිරුවන් අත් කර දුන් සුවිශේෂී ගෞරවය සදාකල් එක්කරමින්ය.

සුනාමි ව්‍යසනය

2004 වසරේදී මෙරට ජනතාව දස දහස් ගණනින් සුනාමි රළට හසු වී ජීවිත අහිමි වෙද්දී ජීවත්ව සිටි බොහෝදෙනකුට ඉතිරි වූයේ තම ඇඳිවත පමණි. ගෙවල් දොරවල්, දේපළ සියල්ල මුහුදු රකුසා ඩැහැ ගනිද්දී අමු සොහොන් බිමක් වූ ලක් මව එම ව්‍යසනයෙන් ඉතා කෙටි කාලයක් තුළදී ගලවා ගැනීමට යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා රණවිරුවන් ක්‍රියාත්මක වූ ආකාරය ද අප සිහිපත් කළ යුතුම කරුණකි. කැඩී බිඳී ගිය මාර්ග සියල්ලම නැවත යථා තත්ත්වයට පත් කරමින් නිවාස අහිමි වූවන්ට නිවාස තනා දීමට කටයුතු කරමින් වැටී තිබූ සංවර්ධනය නැවත යථා තත්ත්වයට පත් කරනු ලැබුවේ ද රණවිරුවන් විසිනි.

වර්තමානයේ යුද හමුදාවට එල්ල වී ඇති අභියෝග රාශියකි. කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා සහාය දීම මෙන්ම රෝගයට ගොදුරුවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශවලට සහය දීම, නිරෝධායනය වන දස දහස් ගණන් පුද්ගලයන්ට රැකවරණය දීම, රෝගී පුද්ගලයන් හඳුනා ගැනීමට සහාය දීම වැනි අංශ රැසකට සම්බන්ධව යුද හමුදාව දැවැන්ත ක්‍රියාමාර්ගකට එක්ව සිටිති.

මේ අතරතුර ගංවතුරවලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ද දැවැන්ත සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන යුද හමුදාව ගිලී ගිය 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ වෙරළට ගොඩගසන සුන්බුන් ඉවත් කිරීම සහ වෙරළ සංරක්ෂණ ක්‍රියාදාමයට ද එක්ව සිටිති. මේ අතර ඔවුන් විසින් තවත් ක්‍රියාදාම රැසක් ද ඉටු කරති.

රියැදුරු බලපත් මුද්‍රණය

2021 ජනවාරි මස 01 දින සිට පසුගිය අප්‍රේල් 30 වැනිදා දක්වා රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ යුද හමුදාව විසින් රියදුරු බලපත්‍ර දෙලක්ෂ දහ නව දහස් අසූ දෙකක් මුද්‍රණය කර ඇත. ඒ අනුව ගත වූ කාලයේ පමණක් රුපියල් විසි එක්කෝටි අනූ ලක්ෂ අසූ දෙදහසකට ආසන්න මුදලක් රජයට ඉතිරි කර දී තිබේ.

එසේම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව රියදුරු බලපත්‍රයට නව විශේෂාංග කිහිපයක් එක් කිරීමටත් යුද හමුදාව කටයුතු කරමින් සිටිති.

වර්තමානයේ භාවිතයට ගැනෙන චිපයක් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට කේතයක් සහිත රියදුරු බලපත්‍රයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතය. එමඟින් රියදුරු බලපත්‍ර ආශ්‍රිතව සිදු කරනු ලබන අක්‍රමිකතා රැසක් වළක්වා ගැනීම අරමුණ වී ඇත. එසේම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සිය රාජකාරි කටයුතුවලදී පහසුවක් සැපයීම මෙම කේත ක්‍රමය හඳුන්වා දීමේ තවත් අරමුණක් වී ඇත.

මේ වන විට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට භාවිත කරන මෘදුකාංගය දකුණු අප්‍රිකානු සමාගමක් මඟින් සංවර්ධනය කළ මෘදුකාංගයක් වන අතර, ඊට වාර්ෂිකව අතිවිශාල මුදලක් වැය කිරීමට ද සිදු වන බව පැවසේ. එබැවින් ඉදිරියේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මේ සඳහා උචිත මෘදුකාංගයක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

මේ වෙනුවෙන්ම යුද හමුදාවෙන් යුද හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානය (Army Information Technology Solutions Center-AITSC) පිහිටුවා ඇති අතර, මෙම ආයතනය විසින් රියදුරු බලපත්‍ර ලබා දීමට අදාළ වාර්තා මිලියන 90ක් නඩත්තු කරනු ලැබේ.

2020 ජූලි මස 01 දින ගන්නා ලද කැබිනට් තීරණයට අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය 2021 ජනවාරි මස 01 දින සිට ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පවරා දෙනු ලැබීය.

මානුෂීය මෙහෙයුම

චීනයේ වූහාන් පළාත කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත වුණු කොරෝනා වයිරසය අද මුළු ලෝකයටම බලපෑම් කරන්නට පටන් ගෙන තිබේ. මේ නිසා බලපෑමක් ඇති නොවුණු පුද්ගලයකු සොයා ගැනීමටත් අපහසු මට්ටමටම කොරෝනා වයිරසය ප්‍රබල වී ඇත. අද වන විට ලෝකයේ ජනගහනයෙන් මිලියන 170කට කොවිඩ් ආසාදනය වී තිබේ. මේ ‍වයිරසය නිසා අද වන විට ලෝකයේ ලක්ෂ තිස් හතරකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොරෝනා වයිරසය ලෝකයට බලපෑම් කරන අවස්ථාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා මර්දන කාර්ය සාධක බළකායක් පිහිටුවා එහි ප්‍රධානී ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කරනු ලැබීය.

යුද්ධයේදී පමණක් නොව ඕනෑම ජාතික අවශ්‍යතාවයකදී පෙරමුණ ගනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. කොරෝනා ‍වයිරස පාලනය කිරීම සඳහා දෙවැනි මානුෂීය මෙහෙයුමේදීත් යුද හමුදාව පෙරට ආවේ සෞඛ්‍ය අංශවලට උපරිම සහයෝගය සපයා දෙමින්ය. තමන්ට කළ නොහැක්කක් නොමැත කියන තේමාව පෙරටුකර ගත් ශ්‍රී ලංකා යුද හමුදාව, ජාතියේ ආරක්ෂකයා බව මෙහිදී නැවත පෙන්නුම් කළේය.

මරණයේ නගරය කියා ඒ දවස්වල හඳුන්වා දුන් චීනයේ වූහාන් නගරයේ හිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා 2020 පෙබරවාරි 01 ‍දා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් දියත් කරන ලද දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමකින් පසුවය.

මේ පිරිස ලංකාවට රැගෙන ඒමෙන් පසු දියතලාව යුද හමුදා කඳවුරු පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ නිරෝධායන ගොඩනැඟිල්ලක රඳවා නිරෝධායනය කිරීමේ වගකීම පැවරුණේ ශ්‍රී ලංකා යුද හමුදාවටය. නිරෝධායනය යනු කුමක්දැයි අපේ රටේ කිසිවකු නොදැන සිටි කාල වකවානුවක යුද හමුදාව තමන්ගේ දෙවුරට ගත්තේ සුළුපටු අභියෝගයක් නොවේ. ඒ වගකීම තම උර මත රැඳුණු ජාතික යුතුකමක් සේ සලකා වත්මන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ වෙනුවෙන් මූලිකත්වය ‍ගත්තේ රටේ මෙන්ම ජාතියේ ආරක්ෂකයා යුද හමුදාව බවට නැවතත් පසක් කරමිනි. ඕනෑම අවස්ථාවක අභියෝගවලට මුහුණදී ජය ගත හැකි බව පෙන්වූයේ මුළු ලෝකයේම ඇස් ඉන්දියන් සාගරයෙන් වටවී තිබෙන මේ පුංචි දූපතට යොමු කරමින්ය.

නිරෝධායන මධ්‍යස්ථාන

මේ ආකාරයට යුද හමුදාව ආරම්භ කළ තමන්ගේ දෙවැනි මානුෂීය මෙහෙයුම නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීම, කොරෝනා ‍වයිරසයට ප්‍රතිකාර කරන්නට රෝහල් ඉදි කිරීම, කොරෝනා ‍වයිරසය ආසාදනය වූවන් නිරෝධානය කිරීම, ආශ්‍රිතයින් සොයා යෑම, ගම්මාන හුදෙකලා කිරීම පමණක් නොව තවත් වගකීම් රැසක් එක්ක ඉදිරියට යමින් ලෝකයේ ඉන්න විනයගරුකම ශ්‍රම බළකායත් තමන් බව ලෝකයාට ඔප්පු කරමින්මය.

කහවනු සෙවීමට මැදපෙරදිග ගොස් කොරෝනා නිසා අසරණ වී සිටි අපේ රට විරුවන් යළි මවුබිමට ගෙන ඒමේ වගකීමත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත පැවරෙන්නේ අභියෝග රැසක් මැදය. එහෙත් යුද හමුදාවේ සාර්ථකත්වය ලෝකයටම පෙන්වමින් ඒ අභියෝගයත් ඔවුන් ජයගනු ලැබුවේය.

ඒ අනුව ක්‍රියාත්මක කරන 'තුරු මිතුරු නව රටක්' වැඩසටහන යටතේ යුද හමුදා කඳවුරු සහ යුද හමුදා ගොවිපළ ආශ්‍රිතව ආහාර භෝග වගාව ප්‍රවර්ධනය කරන්නේ ර‍ටේ සැබෑම ආරක්ෂකයෝ යුද හමුදාව බැව් තවදුරටත් පසක් කරමින්ය.

කොවිඩ් ‍වයිරසයට එරෙහි ඉන්දියානු රජයෙන් ලංකාවට ලබා දුන් එන්නත් තුළින් කොවිඩ් වයිරසය පැතිරීම වැළැක්වීමේ ඉදිරිගාමී මෙහෙයුම්වල නිරත වී සිටින යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ටත්, සෞඛ්‍ය සේවකයනටත් එම එන්නත දෙනු ලබයි. ඊට පසුව තවත් අත්‍යවශ්‍ය සමාජ කොට්ඨාස වෙනුවෙන් මේ එන්නත ලබා දෙන වගකීමෙන් වැඩි කොටස හිමිවෙන්නෙත් යුද හමුදාවටය.

කොවිඩ් තුන්වෙනි රැල්ල අනිත් රැලි ද්විත්වයටම වඩා අභියෝගාත්මකය. යුද හමුදාව තමන්ගේ සටන අත හරින්න සූදානම් නැත. යුද හමුදාව ලෝකයේ විනයගරුකම හමුදාව ලෙස තමන්ගේ කාලය, ශ්‍රමය මේ වෙනුවෙන් කැප කරන්නේ රට වෙනුවෙන් තිබෙන අපිරිමිත ආදරය හේතුවෙනි. යුද හමුදාව මේ වන විටත් ඇඳන් 1200කින් යුත් ලංකාවේ විශාලතම කොවිඩ් රෝහල රටට ලබා දී අවසන්ය. කොවිඩ් ‍වයිරසය අපේ රටේ පැතිරෙන්න පටන්ගත් දා සිටම තමන්ගේ කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි පවා නිරෝධායන මධ්‍යස්ථානවලටත්, කොවිඩ් රෝහල්වලටත් දී ඔවුන් රට සුවපත් වන ආකාරය දෙස උපේක්ෂාවෙන් බලා සිටිති. මේ ක්‍රියාත්මක දෙවැනි මානුෂීය මෙහෙයුමට දැන් යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව හොඳින් සන්නද්ධ වී සිටිති. මේ අභියෝගාත්මක දෙවැනි මානුෂීය මෙහෙයුම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ පමණක් නොව අප සැවොම එකට එකතු වීමට හොඳම කාලයයි.

පසුගියදා තවත් සුවිශේෂී පුහුණුවක් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 14 ‍වැනි සේනංකයෙන් පැවැත්වීය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා‍ගේ උපදෙස් මත ආරක්ෂක සේනා ආඥාපති බටහිර මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ගේ අධීක්ෂණයෙන් 14 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපාගේ මඟපෙන්‍වීමෙන් 141 වැනි බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජයතුංගගේ පූර්ණ මැදිහත්වීම මත මේ පුහුණුව පැවැත්විණ.

උපද්‍රවික කැළිකසළ

පුරා දින පහක් පුරා පැවැත්වූ මෙම පුහුණුව කැලණි ග‍ඟේ මල්වාන උදමාපිටිගම තොටුපළ ආශ්‍රිතව පැවැත්වුණු අතර, ඊට 6 වැනි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සහ 8 වැනි ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස සහභාගි වූ අතර, ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා කිමිදුම් ඛණ්ඩයේ උපදේශකවරු මීට සිය උපදේශක දායකත්වය සැපයූහ. එහිදී විශේෂයෙන්ම 14 වැනි සේනාංකයට අයත් කොළඹ, ගම්පහ, පුත්තලම සහ කුරුණෑගල ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම පුහුණුව පැවැත්විණ. පසුගිය කාල සීමාව කාලගුණික හා දේශගුණික සාධක පුරෝකථනය කිරීමෙන් අනතුරුව මෙම පුහුණුව සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන ලදී. EX FROGS FLOAT 2021 නම් වූ මෙම පුහුණුව 'කොතරම් ගැලුවත් ගෙමැඬිත්තට කරවටක් ලු' නම් වූ ගැමි කියමන පදනම් කරගනිමින් ඕනෑම ආපදා තත්ත්වයකදී සිය දායකත්වය දිය හැකි පරිදි භට පිරිස් සූදානම් කිරීමේ අරමුණින් පැවැත්වුණි.

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අත්තනගලු ඔයේ අතු ගංගාවක් වන දඬුගම් ඔය, ජාඇළ බෝධිරාජාරාමය පාරේ තුම්මෝදර ප්‍රදේශයේදී ඉවුර කැඩී යාමෙන් එම ප්‍රදේශයේ කි. මී. 2ක් පමණ දුරකට අඩි 5ක් පමණ උසකට ජල මට්ටම ඉහළ යෑම නිසා ගම්මාන 8ක පමණ ජනතාවක් පීඩාවට පත්වන ලදී. මෙහිදී 141 බළසේනාවේ 8 වැනි ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් සහ ශ්‍රී ලංකා නාවුක හමුදාවේ ද භට පිරිස්හි සහයෝගය ද ඇතිව මෙම ජනතාවට සහන රැසක් දීමට සමත්ව ඇත.

වයඹ සිට දකුණු මුහුදු වෙරළ දක්වා වෙරළ තීරය ආශ්‍රිතව මේ වන විට තැන්පත්ව ඇති අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අවශේෂ සහ උපද්‍රවික කැළිකසළ හේතුවෙන් වෙරළ තීරයට සහ සමුද්‍රයට සිදු විය හැකි පාරිසරික හානිය අවම කිරීමේ අරමුණින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) අයත් 14 ‍සේනාංක සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් එම වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරනු ලැබීය.

විශේෂ ස්තූතිය - යුද හමුදා මාධ්‍ය ඒකකය

උපුටා ගැනීම : www.dinamina.lk