"ත්‍රිපිටකාභිවන්දනා" සතියට සමගාමිව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ දී විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වේ

මාර්තු 22, 2019

"ත්‍රිපිටකාභිවන්දනා" සතියට සමගාමිව අද (මාර්තු 22) දින කොළඹ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ දී විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්විණි.

මෙම වැඩසටහන මාධ්‍ය මධ්‍යස්ථානයේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් එහි ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. ත්‍රිපිටකයේ ආරම්භය සහ එහි වැදගත්කම පිළිබඳව විශේෂ ධර්ම දේශනයක් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වන ලදී.

ධර්ම දේශනාවෙන් අනතුරුව මාධ්‍ය අධ්‍යක්ෂකතුමන් විසින් උන් වහන්සේ වෙත අටපිරිකර පුජාකරනු ලැබිය.
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපතිතුමන්, ප්‍රධාන විධායක නිලධාරි, ජේෂ්ඨ නිලධාරීන් සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස සිදුකරනු ලබන ඉල්ලීමේ උත්සවයට සමගාමිව ත්‍රිපිටකාභිවන්දනා සතිය ප්‍රකාශයට පත්කරන ලදී.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමයක් වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානය වෙතින් කරනු ලබන ඉල්ලීම, ලබන සෙනසුරාදා (මාර්තු 23) දින ශ්‍රී දළඳා මාලිගාවේ මහා මළුවේ දී ගරුතර මහා නායක ස්වාමින්වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් සිදුකිරීමට නියමිතය.