ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ජුනි 19, 2021

මහින්ද අලුත්ගෙදර

 

අප මාතෘභූමියේ පැවැති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කළ අතර කලාපීය වශයෙන් අපේ රට ඉදිරියට ගෙනයෑම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. අද වන විට ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් සෘජුවම දායක වනවා සේම රටේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් ද අනුපමේය මෙහෙවරක් ඉටුකරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව එදා මෙදා තුර තම මාතෘභූමිය වෙනුවෙන් ඉටුකර තිබෙන කාර්යභාරය අතිමහත්ය.

ලකඹර සුරැකීම තම වගකීම කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගත වූ වස 70ක කාලය තුළ ආරක්‍ෂක තර්ජන, ජාතික ව්‍යසනයන්, ආපදා සහ හදිසි අවස්ථාවලදී අසමසම සේවාවක් සිදුකර තිබෙන අතර ජනතාවගේ සුභ සාධන කටයුතු ඉටු කිරීම සඳහා ද සුවිශේෂී දායකත්වයක් සපයා තිබේ. රටේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල්, රෝහල්, දුම්රිය ස්ථාන, ළමා නිවාස ඇතුළු පොදු ස්ථාන මෙන්ම පූජනීය ස්ථාන රැසක් ද නවීකරණය කිරීම සඳහා ගුවන් හමුදාව සිය ශ්‍රම දායකත්වය සපයා තිබෙන අතර වත්මන් ආණ්ඩුව මේ තත්ත්වය තුළ ගුවන් හමුදාව තම දායකත්වය රට වෙනුවෙන් යළිත් වරක් පිරිනමමින් වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ විශාල වැඩකොටසක් සිදුකරන බව සිහිපත් කළ යුතුය.

මෙවැනි සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආරම්භය සම්බන්ධයෙන් ද යමක් සටහන් කළ යුතුය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ගෙන් එකකි. ගුවන් හමුදාවක් ලංකාවේ මුලින්ම ස්ථාපිත කරන ලද්දේ රාජකීය ලංකා ගුවන් හමුදාව නමින් 1951 මාර්තු 1 වැනිදාය. ශ්‍රි ලංකාව ජනරජයක් බවට පත් වීමෙන් අනතුරුව ශ්‍රි ලංකා ගුවන් හමුදාව ‍ලෙස පාර්ලිමේන්තු ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාගත විය. රාජකීය ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති බවට පත් වූයේ, ගුවන් කොමදෝරු ජී. සී. බේලේඩන් මහතාය. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති බවට පත්වූයේ, එයාර් මාෂල් ජී. එම්. මෙන්ඩිස් මහතාය. ආරම්භයේ සිට අද දක්වා ගුවන්හමුදාව විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඉතා විශාල මෙහෙයක් ඉටු කර තිබෙන අතර විශේෂයෙන් ශ්‍රි ලංකා යුද හමුදාව සහ ශ්‍රි ලංකා නාවික හමුදා මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවෙන් අතිවිශාල සහායක් දී තිබේ.

1948 දී ලද නිදහසෙන් පසුව ශ්‍රි ලංකාවට ස්වදේශීය ආරක්ෂක හමුදාවක් ලෙස ගුවන් හමුදාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව විශාල ලෙස දැනුණු අතර මෙය අවබෝධ කර ගත් එවක සිටි පාලකයන් එතෙක් පැවැති ආරක්ෂක හමුදාව, ලංකා යුද හමුදාව, රාජකීය ලංකා හමුදාව ලෙස 1949 දී පනත් අංක 41 මඟින් පාර්ලිමේන්තුවේ නීතිගත කරන ලදී. එහෙත් රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භ වූ දිනය ලෙස සැලකෙන්නේ, 1951 මාර්තු පළමු වනදාය. මෙවැනි ඉතිහාසයකට උරුමකම් කියන ගුවන් හමුදාව අද වනවිට අංශ රැසක් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ තුන්වැනි ද වැඩ බාරගත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකු වන එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශක්තිය වර්ධනය කිරීම වෙනුවෙන් ප්‍රධාන ක්ෂේත්‍ර 4ක් ඔස්සේ කටයුතු කර ගෙන යයි.

ඒ අනුව ගුවන් හමුදාවට නව යානා ගැනීම හා දැනට පවතින යානා ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කිරීම, සමුද්‍රිය කලාප ගුවන් ආරක්‍ෂක හමුදාවක් ලෙස ඉදිරියට යෑම, නියමුවන් රහිත යානා පද්ධතිය වැඩිදියුණු කිරීම සහ සයිබර් ආරක්‍ෂක ක්‍රමවේද වැඩිදියුණු කිරීම යන ක්‍ෂේත්‍ර ඔස්සේ ගුවන් හමුදාව ශක්තිමත් කිරීමට ඒ මහතා නායකත්වය දී තිබේ. ඒ අනුව දැනට පවතින ගුවන් යානා නවීකරණය වෙනුවෙන් දැනටමත් පියවර ගෙන තිබෙන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් ශක්තිය ඉහළ නැංවීමට ද එමඟින් හැකියාව ලැබී ඇත. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටනෝව් 32 (AN 32) වර්ගයේ ගුවන් යානා තුනක් නවීකරණය කොට ගුවන් හමුදාවට එක් කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් අංක 02 බලඝනයට අයත් යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ටනෝව් 32 (AN 32) වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානා 03ක් අලුත් වැඩියා කටයුතු සඳහා පසුගිය 2020 වසරේ අගෝස්තු මාසයේ දී යුක්රේනය වෙත යවා තිබූ අතර ඒ අනුව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්කෙරුණු එම ගුවන් යානා ත්‍රිත්වය පසුගිය දා කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය වෙත සැපත් විය. මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානා පිළිගැනීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහත්වරුන් ඇතුළුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. රාත්‍රී 8.15 ට පමණ කටුනායක ගුවන් හමුදා පරිශ්‍රයේ ගුවන් පථය වෙත පැමිණි මේ ගුවන් යානා ත්‍රිත්වය සම්ප්‍රදායානුකූලය මහත් හරසරින් පිළිගන්නා ලද අතර එයින් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නිල වශයෙන් බාරදීම සිදුවිය.

මේ ගුවන් යානා 1995 වසරේ දී මුල්වරට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ අතර වර්තමානය වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සක්‍රිය මට්ටමේ පවතින විශාලතම ප්‍රවාහන ගුවන් යානා පද්ධතිය වෙයි. මේ ගුවන් යානා මූලික වශයෙන් භාණ්ඩ හා මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදා ගන්නා අතර මානුෂීය මෙහෙයුම් සමයේ දී යුද බිමේදී තුවාල ලත් රණවිරුවන් මෙන්ම සිවිල් වැසියන් ප්‍රවාහනය කිරීම සහ යුද භූමියට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ද විශාල අත්වැලක් විය. මෙම ගුවන් යානා 2014 වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා ගුවන් හමුදා ප්‍රවාහන කටයුතු සඳහා සක්‍රිය දායකත්වයක් ලබාදී නොමැති අතර ඒ සඳහා ප්‍රවාහන හෙලිකොප්ටර් යානා යොදා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිදු විය. කෙසේ වුවද මෙම ඇන්ටනෝව් 32 ගුවන් යානා ත්‍රිත්වය නැවත සක්‍රිය වීමත් සමඟ ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් බලය සියයට 75කින් පමණ ඉහළ නැංවීමට හැකියාව ලැබී තිබේ.

මෙම ගුවන් යානා භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය කිරීමට අමතරව පැරෂුට් භටයන් පුහුණු කිරීම ඇතුළු යුද අභ්‍යාස සඳහා ද යොදා ගන්නා අතර දේශීය ප්‍රවාහන කටයුතු මෙන්ම හදිසි අවශ්‍යතා මත විදේශ රටවල් වෙත පියාසර කිරීමේ හැකියාව ද ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් ශක්තිය ඉහළ නැංවීම සඳහා ගුවන් හමුදාපතිවරයා සිදුකරගෙන යන සැලසුම් සහගත ක්‍රියාදාමයේ එක් අදියරක් ලෙස මේ ගුවන් යානා නැවත සක්‍රිය මට්ටමට රැගෙන ඒම සඳහන් කළහැකි අතර තවත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයක් සහ සී 130 (C 130) ගුවන් යානා දෙකක් සක්‍රිය මට්ටමට ගෙන ඒමේ මූලික කටයුතු මේ වනවිට අවසන්කර තිබේ. ඉදිරියේ දී එම ගුවන් යානා ද සක්‍රිය මට්ටමට ගෙන එමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් ශක්තිය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් සැලසුම් කර ඇත.

නවීකරණය කළ ඇන්ටනෝව් 32 (AN 32) වර්ගයේ ගුවන් යානා පිළිගැනීමේ අවස්ථාවට පැමිණි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පෙන්වා දුන්නේ, "ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වගේම ආරක්ෂක අමාත්‍යාංශයටත් අද ඉතාම සුවිශේෂී දවසක්. වසර 7ක් පුරා පියාසර කරන්න නොහැකිව තිබූ ඇන්ටනෝව් 32 (AN 32) වර්ගයේ ගුවන් යානා තුනක්, යුද්ධ කාලයේ ලොකු මෙහෙවරක් කළ යානා තුනක් නවීකරණය කරන්න පියවර ගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි පසුව ගුවන් හමුදාව ගුවන් හමුදාවක් කළ යුතුයි කියන සංකල්පය යටතේ සිටියා. රටේ අභිමානය වන්නේ හමුදාවන්. බිම තිබුණු ගුවන් යානා තුනක් අපිට අලුත් වැඩියා කරන්න ජනාධිපතිතුමා මුදල් දුන්නා. ඒවා අලුත්වැඩියා කර අද අපිට ලැබී තිබෙනවා. මෙවැනි දවසක් මීට පෙර උදාවෙලා තිබුණේ නැහැ. සමුද්‍ර ආවේක්ෂණය වෙනුවෙන් මේ වනවිට රාජකාරි කටයුතු සඳහා මේ ගුවන් යානා සහාය ලබාදෙනවා. අප අවට සාගරයේ මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් තිබෙනවා.

මත්ද්‍රව්‍ය ආදිය කටයුතු සිදු වෙනවා. එවැනි අවස්ථාවල දී මේ ගුවන් යානා තුළින් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. කිලෝ මීටර් 200ක් තරම් ඈතට විහිදෙන මුහුදු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න මේ ගුවන් යානා මඟින් හැකියාව ලැබෙනවා. ඒ වගේම ආපදා කළමනාකරණයේ දී අපිට මේවායේ සහාය ලැබෙනවා. අපේ මිතුරු රටක ආපදාවක් වුවද ඒවාට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන්න, පිරිස් ප්‍රවාහනයට මේ ගුවන් යානා යොදා ගන්න පුළුවන්. ගුවන් හමුදාවේ ශක්තිය විශාල වශයෙන් ඉහළගිය දිනයක්."

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා කියා සිටියේ,

"ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ශක්තිය ඉහළ නැංවීමට ඇන්ටනෝව් 32 (AN 32) වර්ගයේ ගුවන් යානා තුනක් අද අපේ රටට ළගා වුණා. වසර 7ක් බිම්ගත වී තිබුණු මේ ගුවන් යානා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නවීකරණය කරන්න පියවර ගත්තා. ඒ අනුව එම ගුවන් යානා තුන යුක්රේනයට රැගෙන ගොස් එරට දී නවීකරණයෙන් පසුව යළිත් ශ්‍රී ලංකාවට රැගෙන ආවා. එම ගුවන් යානා රැගෙන පැමිණි ගුවන් නියමුවන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට මගේ ගෞරවය පිරිනමනවා.

එවැනි තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුවන් නියමුවන් සහ තාක්ෂණික නිලධාරීන් අපි සතුව සිටීම සම්බන්ධයෙන් මම ආඩම්බර වෙනවා. අපේ ප්‍රවාහන කටයුතු සඳහා මේ ගුවන් යානා යොදා ගන්නා අතරතුර සමුද්‍රීය ආරක්ෂණ කටයුතු සහ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධව කටයුතු කටයුතුවල දී මේ ගුවන් යානා යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්වාභාවික ආපදාවල දී අපිට අවශ්‍ය ආම්පන්න කලාපීය මිත්‍ර රටවලින් ඉක්මනින් ගෙන්වා ගන්න අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ද මේ ගුවන් යානා යොදා ගන්න බලාපොරොත්තු වෙනවා.

මේ ගුවන් යානා නවීකරණය වෙනුවෙන් සහාය දීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා වත්මන් ආණ්ඩුවටත් ආරක්ෂක ලේකම්තුමාටත් අපේ ගෞරවය පිරිනමනවා. ගුවන් යානාවක් නඩත්තු කිරීමේ දී එක් එක් අංගයන් තිබෙනවා. විශේෂ නඩත්තු කටයුතු තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පළමු සහ දෙවැනි කඩත්තු කටයුතු කළ හැකි වුවත් අනෙකුත් කොටස් නඩත්තු කටයුතු සඳහා ගුවන් යානා නිපදවන සමාගම් සමඟ එක්ව කටයුතු කරන්න සිදු වෙනවා. ඒ නිසාම යුක්රේනයට රැගෙන යන්න පියවර ගත්තා. මේ ගුවන් යානා තුනම නවීකරණය වෙනුවෙන් වැය වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 7.5ක් වැනි මුදලක්. එය ඉතාම විනිවිදභාවයෙන් හා ටෙන්ඩර් ක්‍රියාපටිපාටියකින් පසුව නවීකරණය කරන්න පියවර ගෙන තිබෙනවා. පවතින ගුවන් යානා නඩත්තු කරමින් ගුවන් ශක්තිය තවදුරටත් දියුණු කර ගැනීම අවශ්‍ය වෙනවා" යැයි පැවසීය.

1950 දශකයේ චිප්මන්ක් ගුවන් යානයෙන් පළමුව ගුවන තරණය කොට අද වනවිට මිග් යානා, කෆීර් යානා පමණක් නොව ලොව නවීනතම තාක්ෂණයෙන් සමන්විත එෆ් 7 ගුවන් යානාවලින් සන්නද්ධ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වනවිට ගුවන් ශක්තිය අතින් දැවැන්ත පිම්මක් ඉදිරියට ගොස් සිටී. කලාපීය ආරක්ෂාව සහතික කිරීමෙහිලා ගුවන් බලය යොදා ගන්නා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව බෙල් 212 හෙලිකොප්ටර්, බෙල් 412 හෙලිකොප්ටර්, MI 17 හෙලිකොප්ටර්, MI24 ප්‍රහාරක හෙලිකොප්ටර්, Y 12 යානය, B 200 යානය ආදී යානා සමන්විත වෙයි. ඒ අනුව ඉදිරියේ දී රට තුළ මෙන්ම කලාපීය වශයෙන් ඇති වන ඕනෑම තත්ත්වයකට සාර්ථකව මුහුණ දෙන්නට තරම් අපේ ගුවන් හමුදාව ශක්තිමත්ව තිබීම ජාතියක් වශයෙන් ආඩම්බර විය යුතුය.

(විශේෂ ස්තුතිය ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා ප්‍රමුඛ මාධ්‍ය අංශයට)

ඡායාරූප - සුලෝචන ගමගේ

උපුටා ගැනීම : www.dinamina.lk