ඉන්දු - ශ්‍රී ලංකා වෙරළාරක්ෂකයින් අතර සාකච්ඡාවක්

ජුනි 23, 2021

සමුද්‍රීය ආරක්ෂාව, කලාපිය සමුද්‍රීය ආරක්ෂාව, අන්‍යෝන්‍ය අවශ්‍යතා සහ ඉන්දිය - ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නිලධාරීන් අතර සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වන, 5 වන ඉන්දූ - ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සාකච්ඡාව අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ  ඊයේ (ජූනි 22) දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, සෙවීම සහ මුදවාගැනීමේ මෙහෙයුම් වල අන්තර් ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම, මුහුදු හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා තොරතුරු හුවමාරු කර ගැනීම, වෘත්තීය මට්ටමේ අත්දැකීම් හුවමාරු කර ගැනීම අඛණ්ඩව පවත්වාගැනීම සහ දෙපාර්ශවය අතර ස්ථාපිත මෙහෙයුම් සහ සන්නිවේදන ක්‍රියා පටිපාටි යලි තහවුරු කිරීම වැනි විෂයන් පිළිබඳව සාකච්ඡා සිදුකල බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ඉහළ පෙලේ සාකච්ඡාවේදී, ශ්‍රී ලංකා නියෝජිත පිරිස සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක නායකත්වය ලබා දුන් අතර ඉන්දීය වෙරළාරක්ෂක අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රිෂ්ණස්වාමි නටරාජන් විසින් ඉන්දීය නියෝජිත කණ්ඩායම මෙහෙයවීය.

ඉන්දියාව නියෝජනය කරමින් මෙම සැසිවාරය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින්ද සහභාගී වී ඇති බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය පවසයි.

මෙම ඉහළ මට්ටමේ සාකච්ඡාව 2015 වර්ෂයේ දී ආරම්භ වූ අතර එහි සමාරම්භක රැස්වීම 2015 සැප්තැම්බර් 8 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේදී පවත්වන ලදී.

කොවිඩ් 19 වසංගතය පැතිරීම හේතුවෙන් 2020 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 5 වන රැස්වීම කල් දමනු ලැබූ බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.