අතිගරු ජනාධිපතිතුමාගේ පොසොන් දින පණිවිඩය

ජුනි 24, 2021

උතුම් ථේරවාදී සම්බුද්ධ දේශනාව රැගෙන මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීම සිහිපත් කෙරෙන පොසොන් පොහොය. ශ්‍රී ලාංකේය සැදැහැවත් බෞද්ධයන්ගේ සදානුස්මරණීය වටිනාම දිනයයි.

ලොව්තුරා තථාගත බුදුපියාණන් වහන්සේගේ ගුණ සිහිපත් කර පොසොන් පොහොය ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් අර්ථවත් කර මිහිඳු මහරහතන් වහන්සේට කෘතවේදීත්වය පළ කිරීම අප අනාදිමත් කාලයක පටන් සිදු කරන්නකි.

දේවානම්පියතිස්ස මහ රජු අභිමුව සම්බුද්ධ දේශිත වීමංසන ප්‍රඥාව පිළිබිඹු කරමින් ”චුල්ලහත්ථිපදෝපම සූත්‍රය” මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කොට වදාළහ. රජු ධර්මයෙහි පිහිටීමෙන් ඇරැඹී සදහම් පණිවිඩය ශ්‍රී ලංකාදීපයෙහි මුල්බැස ගැනීමෙන් නිවුණු සැනසුණු ජීවිතයක හා සබුද්ධික වීමංසනසීලී සමාජයක දායාදය අප වෙත උරුම විය. එදා පටන් ශ්‍රී ලාංකීය රජ දරුවෝ ඇතුළු ජනතාව තථාගත දේශනාව අනුව ජීවිත හැඩ ගස්වා ගැනීම සිය යුතුකම සේම වගකීම ද කොට සලකා ගත්හ.

මහින්දාගමනය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බව විවාද රහිතය. එපමණක් නොව ඉන් සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අප අත්පත් කරගත් වටිනාකම් බොහෝය.

සමස්ත පරිසරය දෙස මෙත් සිත් පෙරටුව කටයුතු කිරීමට අනුබුදු මිහිඳු. හිමියන්ගේ අනුශාසනා ඉවහල් විය. අටලෝ දහම අනුව ජීවිතයට එළඹෙන ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප හා දුක් දෙස උපේක්ෂා සහගතව බැලීමට අපට පුරුදු කළා සේම යහජීවන අත්දැකීම්වල පදනම බවට එම දහම පත් වූ බව අපි දනිමු.

දසරාජ ධර්මය පෙරටු කරගත් රාජ්‍ය පාලනය පිළිබඳව වූ සුවිශිෂ්ට ආකල්පය තුළින් අභිමානවත් රටක් ලෙසින් ලොවට පිවිසීමට අපට හැකියාව උදාවිය. ඒ අතීත මග පිළිබඳ නිවැරදි ආවර්ජනයක් සහිත වූ අතීත පාලකයෝ අපේ රට සමෘද්ධිය කරා මෙහෙය වීය. යහපත් රටක් ගොඩනැගීමට අදාළ වූ එම තථාගත දහමත්, දස රාජ ධර්මයත් පදනම කරගත් රාජ්‍ය සංකල්පයත් අපගේ පාලනයේ ද පූර්වාදර්ශය කරගනිමු.

ජනතා කේන්ද්‍රීය ආර්ථික ඉලක්ක සපුරා ගත යුතු වන්නේ ද සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගිය යුත්තේ ද මහපොළොව, සතා සීපාවා, ගහ කොළට ද සංවේදී පුරවැසියන් ලෙස බව මම දැඩිව විශ්වාස කරමි. ඒ වෙනුවෙන් මාගේ සියලු ශක්තිය කැපකිරීමට අදිටන් කොටගෙන සිටිමි.

අතීත සම්ප්‍රදායන් අනුව පොසොන් පෙරහර, තොරණ, දන්සැල් පවත්වමින් මහින්දාගමනය සැමරීමට අපට වර්තමානයේ ඉඩ ඇහිරී තිබේ. එහෙත් පවතින කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වෙමින්, දහමට අනුගතව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කළ යුතු ආකාරය පිළිබඳව අතිපූජ්‍ය මහ සඟරුවනේ මග පෙන්වීම් ලැබී තිබේ. එම අනුශාසනා දෙස අවධානය යොමු කරමින් තථාගත දේශනාව අනුව ජීවිත අර්ථවත් කර ගැනීමට මේ පොසොන් සමයේ අප අදිටන් කර ගත යුතුය.
ඔබ සැමට ජීවිත ආලෝකවත් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා !

ගෝඨාභය රාජපක්ෂ
2021 ජුනි මස 23 වන දින

අනුග්‍රහය :- ජනාධිපති මාධ්‍ය අංශය