බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයක් වන CARAT-21 ත්‍රිකුණාමලයේ දී ආරම්භ වේ

ජුනි 24, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව පිළිබඳව පවත්වනු ලබන බහුපාර්ශවීය නාවික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව ත්‍රිකුණාමලය නාවික තඨාටාකාංගනයේ දී මාර්ගගත ක්‍රමවේදයට අනුව  අද (ජුනි 24) ඇරැඹිණි.

මෙම බහුපාර්ශවීය නාවික අභ්‍යාසයේ වරාය අදියර මාර්ගගත ක්‍රමවේදයට අනුව 2021 ජුනි මස 24 සහ 25 දිනයන්හී ත්‍රිකුණාමලය වරායේදීත් මුහුදු අදියරයන් 2021 ජුනි 26 සිට  30 වන දින දක්වා ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී පැවැත්වීමට නියමිතය.

මෙම නාවික අභ්‍යාසයේදී සමුද්‍රීය මැදිහත්වීම් සහ අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම, පොදු සමුද්‍රීය අභියෝග සඳහා සම්බන්ධීකරණය වීම, සමුද්‍රීය මෙහෙයුම් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම, සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය සඳහා අන්‍යෝන්‍ය හැකියාවන් වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තර නීති සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූලව මෙහෙයුම් සිදුකිරීම, සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාකරනු ලබන පාර්ශවයන් සහ නීති බලාත්මක කරන අධිකාරීන් අතර සබඳතාවය වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සකස් කිරීම මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය  යන පාර්ශවකරුවන් අතර හවුල්කාරීත්වය වර්ධනය කිරීම ද අරමුණු කෙරෙන බව නාවික හමුදාව සඳහන් කරයි.

මෙම පුහුණු අභ්‍යාසය තුළදී මානුෂීය ආධාර සහ ආපදා සහන සැළසීම, සමුද්‍රීය වපසරිය පිළිබඳ අවබෝධය, සාගරික ගුවන් මෙහෙයුම්, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව, සතුරු යාත්‍රා ලුහුබැඳීම, නෞකා වෙත ප්‍රවේශ වීම, ඇතුළුවීම සහ පරීක්‍ෂා කිරීම සහ සෙවීම් හා මුදවා ගැනීම් ඇතුළු නාවික අභ්‍යාස රැසක් කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට සැළසුම්කර ඇත.

මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්  සයුරළ සහ ගජබාහු යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා සහභාගී වන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම අභ්‍යාසය සඳහා අවශ්‍ය ගුවන් සහය බෙල් 212, බෙල් 412 හෙලිකොප්ටර් යානා සහ B - 200 වර්ගයේ නිරීක්‍ෂණ ගුවන්යානා මඟින් ලබා දෙනු ලබයි. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව නියෝජනය කරමින් Littoral Combat Ship වර්ගයට අයත් USS Charleston (LCS – 18) නෞකාව, Boeing P-8A Poseidon වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් සහ MH – 60S වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය නියෝජනය කරමින් Destroyer වර්ගයට අයත් JDS Yugiri නොකාව සහ MH - 60R වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මෙම අභ්‍යාසය සඳහා එක්ව සිටීන බව නාවික හමුදාව තවදුරටත් පවසයි.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න,  ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නාවික උපදේශක ලුතිනන් කොමාණ්ඩර් රිචඩ් ලිස්ටර් හා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් සීමිත පිරිසක් සහභාගී වූ අතර එය සෞඛ්‍යයක් මාර්ගෝපදේශයන්ට අනුව සිදුකළ බව නාවික හමුදාව තහවුරු කරයි.

Sinhala.