'CARAT-21' නාවික අභ්‍යාසය සාර්ථකව නිමවේ

ජුලි 01, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව අරමුණු කරගෙන පවත්වන ලද බහුපාර්ශවීය නාවික අභ්‍යාසය (CARAT) - 2021 සාර්ථකව ඊයේ (ජුනි 30) දින නිමා විය.

මෙම වසරේ අභ්‍යාසය ජුනි 24 සිට 30 දක්වා ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී පවත්වන ලදි.

එහි සමාප්ති උළෙල ඊයේ දිනයේදී ත්‍රිකුණාමලයේ නාවික නැව් තටාකාංගනයේදී නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සමාප්ති දේශනය ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහභාගී වූ සියලු දෙනාටම සිය කෘතඥතාව පළ කළ අතර අභ්‍යාසයේ සාර්ථකත්වය උදෙසා දැක්වූ කැපවීම වෙනුවෙන් සහය දැක්වූ ආයතනවලට ද ස්තූතිය පුද කළේය.

මෙම අභ්‍යාසය තුලින් නාවික හමුදාවන් අතර සමුද්‍රීය අන්තර් සම්බන්ධතාවය සහ අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම රටවල් අතර ද ශක්තිමත් සමුද්‍රීය සහසම්බන්ධතාවය ශක්තිමත් වන බව නාවික හමුදාව පවසයි.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම වෙනුවෙන් සමරු ඵලක හුවමාරු කරගැනීමද සිදු විය.

මෙම සමාප්ති උළෙල නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ බව නාවික හමුදාව පවසයි.