ත්‍රිපිටකභිවන්දනා සතියට සමගාමිව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් වැඩසටහන් මාලාවක්

මාර්තු 19, 2019

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සමගාමිව මාර්තු මස 16 වනදා සිට 23 වනදා දක්වා පුරා සතියක කාලයක් “ත්‍රිපිටකාභිවන්දනා සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

අතිගරු ජනාධිපතිතුමන් විසින් පසුගිය ජනවාරි 05 වන දින මාතලේ අළුවිහාරේදී ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

මේ අනුව 'ත්‍රිපිටකභිවන්දනා' සතියට සමගාමිව දිවයිනේ සියලුම රාජ්‍ය ආයතනවල ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වය දෙමින් වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

ත්‍රිපිටකභිවන්දනා සතිය සැමරීම සඳහා ආරක්‍ෂක අමාත්යන්ශයේදීද ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබේ. මේ සඳහා ධර්ම දේශනයක්, භාවනාමය වැඩසටහනක් සහ ප්‍රතිඥාව ලබාදීමක් ද ඇතුළත් වේ. මෙම වැඩසටහන ලබන සිකුරාදා (මාර්තු 22) දින අමාත්‍යංශ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමිව ‘ජනපති සදහම් යාත්‍රා’ වැඩසටහන මෙම මස 20 වන දින පැවැත්වීමට නියමිත බැව් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. මේ යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ සියලුම ආණ්ඩුකාරවර කාර්යාල එක්ව දානමය වැඩසටහනක්ද සංවිධානය කර ඇත. මෙම සතිය තුල සියලුම රාජ්‍ය ආයතන තුල, පෞද්ගලික ආයතන තුල, නිවාස වල, වාහන වල සහ මාර්ගවල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කිරීම සිදුකරන ලෙස ඉල්ලීමක් ද කර ඇත.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමයක් වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යුනෙස්කෝ වෙතින් කරනු ලබන ඉල්ලීම, සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ලබන සෙනසුරාදා (මාර්තු 23) දින ශ්‍රී දළඳා මාලිගාවේ මහා මළුවේ දී ගරුතර මහා නායක ස්වාමින්වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් සිදුකිරීමට නියමිතය.