රුපියල් මිලියන 29 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ජුලි 06, 2021

යාපනය කෝවිලම් ප්‍රදේශයට උතුරින් වූ මුහුදේදී රුපියල් මිලියන 29 ක් වටිනා කිලෝ 98 ග්‍රෑම් 500 ක් පමණ වන ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (ජූලි 6) දින අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා උතුරු නාවික විධානය මගින් කොවිලම් ප්‍රදේශයේ උතුරු මුහුදේ සිදු කළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා ගෝනි හතරක් ප්‍රවාහනය කරමින් තිබු මෙම සැකකටයුතු ඩිංගි යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත.

ජාවාරම්කරුවන් විසින් අන්තර්ජාතික මුහුදු සීමාව හරහා දිවයිනට ගෙන ඒමේ අරමුණින් මෙම ගංජා තොගය ප්‍රවාහනය කර ඇති බවට නාවික හමුදාව සැක කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරංචි, පේසාලේ සහ පූනරින් යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ගංජා තොගය සමග සැකකරුවන් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස්  පොලිසියට භාර දෙන ලදී.  

සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම මෙහෙයුම සිදු කර ඇති බව නාවික හමුදාව සනාථ කරයි.