යුද හමුදාව ස්වයංක්‍රීය දෑත් විෂබීජහරණය කිරීමේ යන්ත්‍රයක් නිපදවයි

ජුලි 07, 2021

ශ්‍රී ලංකා යුද හමුදා පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද දෑත් විෂබීජහරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඊයේ (ජූලි 06) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී හඳුන්වා දෙන ලදී.

විෂබීජ නාශක දියර ලීටර් හතරක ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයින් 600 කගේ දෑත් විෂබීජහරණයටත්, විදුලි ආරෝපණයෙන් පසු පැය 48 ක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාව මෙම යන්ත්‍රය සතු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආනයනය කිරීමට සාපේක්ෂව අඩු පිරිවැයකින් මෙම යන්ත්‍රය දේශීයව නිෂ්පාදනය කළ හැකි අතර ඉල්ලුමට අනුව යන්ත්‍ර නිෂ්පාදනය කිරීමට සහ අවශ්‍ය පාර්ශව වෙත ඒ පිලිබඳ දැනුම ලබාදීමට යුද හමුදා පර්යේෂණ ඒකකය සූදානම් බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
 
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති අතිරේක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙල සහ බ්‍රිගේඩියර් සුදත් උදයසේන මෙම අවස්ථාවට සහභාගී වුහ.