2021 ජූලි මස 06 වන දින, එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පැනවූ සංචාරක සීමාවන් සබැඳිව මාධ්‍ය නිවේදනය

ජුලි 08, 2021

එක්සත් ජනපදය විසින් 2021 මැයි මස 24 වන දින, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ 4 වන මට්ටමේ සංචාරක සීමාවන්, 2021 ජූලි මස 6 වන දින, 3 වන මට්ටම දක්වා යාවත්කාලීන කර ඇත.

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජනපද 3 වන කාණ්ඩය යටතේ සංචාරක සීමාව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කාලීනව නිකුත් කරනු ලබන සංශෝධනයකි.

කොවිඩ් - 19 තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව මෙසේ එක්සත් ජනපද සංචාරක සීමා නිකුත් කර ඇති අතර එහිදී ත්‍රස්තවාදී තර්ජන සබැඳිව එයට ඇතුළත් වීම එම වර්ග කිරීමට අනුව සාමාන්‍යයෙන් සිදුවන්නකි.

තවද, කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඊයේ (7) දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබු සංචාරක සීමාවන්, 4 වන මට්ටමේ සිට 3 වන මට්ටම දක්වා යාවත්කාලීන කිරීම සිදුකර ඇත්තේ හුදෙක් රටේ පවතින කොවිඩ් - 19 තත්වය නිසා බවත්, ත්‍රස්තවාදී තර්ජන මට්ටමේ කිසිදු වෙනසක් එහි සඳහන් නොවන බවත්ය.

එපමණක් නොව, බුද්ධි තොරතුරු විශ්ලේෂණයට අනුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හෝ එවැනි තර්ජන පිළිබඳව තොරතුරු මේ වන තෙක් වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සඳහන් කළේය.