සඳහිරු සෑ කෞතුකාගාරය සඳහා මුල්ගල තැබේ

ජුලි 10, 2021

අනුරාධපුර සඳහිරුසෑයට යාබදව ඉදිකිරීමට යෝජිත කෞතුකාගාරය සඳහා මුල්ගල තැබීම, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් අද (ජූලි 10) දින සිදු කරන ලදී.

ඉතිහාසය, ප්‍රෞඩත්වය සහ කලාත්මක සුන්දරත්වය පිළිබිඹු වන අයුරින් කෞතුකාගාරයේ ගෘහ නිර්මාණ ශිල්පය යොදාගැනීමට කටයුතු කරන ලෙස කෞතුකාගාරය ඉදිකිරීමට සම්බන්ධ නිලධාරීන්ට ජෙනරල් ගුණරත්න විසින් උපදෙස් දුන්නේය.

මේ වන විට, ඉදිකිරීම් කටයුතු වේගයෙන් අවසන් වෙමින් පවතින සඳහිරුසෑය ස්ථූපයේ නිරීක්‍ෂණ සඳහා ආරක්‍ෂක ලේකම් පැමිණි අවස්ථාවේදී මෙම මුල්ගල තැබීම සිදු කරන ලදී.

මෙහි ඉදිකිරිම් කටයුතු භාරව සිටින නිලධාරීන් විසින් එම ස්ථානයේ සිදු වෙමින් පවතින ක්‍රියාවලියේ වත්මන් තත්වය පිළිබඳව ජෙනරල් ගුණරත්න මහතාව දැනුවත් කරන ලදී.

සඳහිරුසෑයේ වාහල්කඩ, බුද්ධ මන්දිරය, දේවතා කොටුව, යෝජිත සෙල්ලිපි, කැටයම් සහ මූර්ති කලා කටයුතු, යෝජිත කෞතුකාගාරය සහ කෞතුකාගාරයේ අභ්‍යන්තර සැකැස්ම ආදිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

මහා සංඝ රත්නය, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක, ආරක්‍ෂක අමාත්‍යාංයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ව්‍යාපෘතිය භාර නිලධාරීන්, ඉංජිනේරුවන්, ගෘහනිර්මාණ ශිල්පින් සහ කලා ශිල්පින් මෙම අවස්ථාව සඳහා සහභාගී වුහ.