නාවික හා ධීවර ප්‍රජාවන් සැලකිලිමත් වන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ජුලි 11, 2021

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට මද වේලාවකට පෙර සමුද්‍ර කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කියා සිටියේ මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බැවින් නාවික සහ ධීවර ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

තවද, ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශද විටින් විට තරමක් රළු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර මහජනයා සඳහා කාලගුණ අනාවැකියේ සඳහන් වනුයේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කීපයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තද සුළං ඇති විය හැකි බවද මෙම නිවේදනයේ සඳහන් වේ.