පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා මෙහෙයුම්

ජුලි 12, 2021

බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් පසුගිය දා ක්‍රියාත්මක කෙරිණි.

තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය බද්දේගම, අගලිය සහ දොඩන්ගොඩ පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟීන් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් නිරන්තරයෙන් සිදු කෙරෙන බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කරන ලද අතර, එමඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගං වතුර අවධානම වැළැක්වීමට හැකි වූ බව නාවික හමුදාව තවදුරටත් සඳහන් කරයි.