රුපියල් මිලියන 103 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ජුලි 12, 2021

යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් අද (ජූලි 12) දින නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා උතුරු නාවික විධානයට මඟින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, එම යාත්‍රාවේ තිබූ පොලිතීන් මළු 11ක අසුරන ලද මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

ජාවාරම් කරුවන් විසින් ඩිංගි යාත්‍රාවක් මගින් මෙම ගංජා තොගය, අන්තර් ජාතික මුහුදු සීමාව හරහා ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක කෙරේ.

මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 103 ක් පමණ වන බව නාවික හමුදාව විශ්වාස කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34ත් 38ත් අතර වයසේ පසුවන නච්චිකුඩා, මන්නාරම සහ යාපනය ගුරුනගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

සැකකරුවන් සමග කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දෙන ලදී.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙම මෙහෙයුම සිදුකර ඇති බව නාවික හමුදාව පවසයි.