යුද හමුදා සහයෙන් තවත් පවුල් දෙකක නිවාස සිහිනය සැබෑ වේ

ජුලි 14, 2021

ආරක්‍ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චියට අයත් භටපිරිස් විසින් දිළිදු පවුල් දෙකක් සඳහා නිවාස දෙකක් ඉදි කර භාර දීම පසුගියදා සිදු කෙරිණි.

කිලිනොච්චිය සිවික් සෙන්ටර් ප්‍රදේශයේ රාසයියා රාජේශ්වරම් මහතා සහ කිලිනොච්චි හි බටහිර කොනාවිල් හි නාගුලසපුල්ලෙයි කුගනේශ්වරී මහත්මිය නිවාස දෙකෙහි ප්‍රතිලාභීන් වූ අතර මෙම නිවාස සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ ද ලබා දී ඇති බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

සංහිදියාව, සුහදතාවය සහ සමගිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව නවවන හා හත්වන ශ්‍රී ලංකා සිංහ සහ හත්වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු භටයින් විසින් මෙම ප්‍රජා ව්‍යාපෘතිය නිම කළ බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ඇතුළු යුද හමුදා නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍යය මාර්ගෝපදේශවලට අනුව සිදු කළ මෙම උත්සවයට සහභාගි විය.