කච්චතිවු දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සාර්ථකව පවත්වයි

මාර්තු 17, 2019

කච්චතිවු දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සෙනසුරාදා (මාර්තු 16) දින ඇති සාර්ථකව පවත්වන ලදී.

මෙවරත් මෙම වාර්ෂික ආගමික උත්සවය සංවිධානය කිරීම සඳහා යාපනය පදවියේ රදගුරු සහ දිස්ත්‍රික් ලේකම්තුමන් හට අවශ්‍ය පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව දේවස්ථානය ඉදිකිරීමෙන් අනතුරුව පවත්වනු ලබන තෙවන දේව මෙහෙය බවට මෙය සනිටුහන් විය.

කච්චතිව් දූපතේ පිහිටා ඇති ශාන්ත අන්තෝනි දේවස්ථානය පෝක් සමුද්‍ර සන්ධිය දෙපසම ජිවත්වන කතෝලික බැතිමතුන් සඳහා එකසේ ගෞරවණීය ස්ථානයක් ලෙස සැලකේ.

මේ වසරේ දී දේව මෙහෙය සඳහා දේශීය බැතිමතුන් 6,500 ක් පමණ ද ඉන්දියානු බැතිමතුන් 2100 ක් පමණ ද සහභාගී වී ඇත.

මෙම අවස්ථාව සඳහා යාපනය පදවියේ රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණාන්, යාපනය දිස්ත්‍රික්කයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල්, එස්. බාලචන්ද්‍රන් මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ඇතුළු විශාල පිරිසක් ද සහභාගී විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙවර කච්චතිව් මංගල්‍යය සඳහා අවශ්‍ය අවශ්‍යතා ඉටුකර දීම වෙනුවෙන් යාපනය පදවියේ රදගුරු හිමිපාණන් සහ දිස්ත්‍රික් ලේකම්තුමා‍ හා සම්බන්ධීකරණය වි වැඩ ආරම්භ කිරීම පසුගිය පෙබරවාරි මුල් සතියේ සිට ආරම්භ කරන ලදී. විදුලිබලය, සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජලය, ආහාර හා අනෙකුත් යටිතල පහසුකම් සැපයීම නාවික හමුදාව විසින් සිදු කරන ලදී. පැමිණෙන බැතිමතුන්ගේ බෝට්ටු සුරක්ෂිත කිරීම සඳහා තාවකාලික ජැටියක් ඉදිකිරීමද නාවික හමුදාව විසින් සිදුකරන ලදී. එමෙන්ම බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරයකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් යෙදවීමටත් නාවික හමුදාව පියවර ගෙන තිබුණි.

මීට අමතරව, කන්කසන්තුරේ සහ කුරිකට්ටුවාන් ජැටියේ සිට කච්චතිව් දූපත දක්වා පූජකවරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයින්, බැතිමතුන්, දෙස් විදේස් මාධ්‍යවේදින් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ ප්‍රවාහනය කිරීමද නාවික හමුදා නෞකා හා යාත්‍රා මඟින් මෙවරත් සිදු කරන ලදී.