දීඝවාපියේ ශ්‍රී විභූතිය වසර දෙකහමාරකින්

ජුලි 15, 2021
  • ආගමික සිද්ධස්ථාන වලට හානි කළ අයවලුන් නීතිය ඉදිරියට

පසුගියදා මන්නාරම් ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය නැගූ පැනයකට සිය අදහස් ඉදිරිපත් කරමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ ඊට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට නියෝග ලබා දී ඇති බවයි.

වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තුළින් අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවට ඔහු සහතික විය.

නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මේ බව ප්‍රකාශ කළේ අද (ජූලි 15) දීඝවාපිය පූජා භූමියේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු පිළිබඳව නිරීක්‍ෂණ චාරිකාවට එක්වෙමිනි.

ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂ පුජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමි, දීඝවාපිය රාජ මහා විහාරාධිපති පුජ්‍ය මහවැව සෝභිත හිමි, නැගෙනහිර පළාතේ පිරිවෙන් අධ්‍යාපන සහකාර සම්බන්ධීකරණ අධ්‍යක්‍ෂ පූජ්‍ය කිරිඳිවැල ශ්‍රී සෝමරතන හිමියන් සහ කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මහතා ද මෙම සංචාරයට සහභාගි විය.

“සැලකිය යුතු වැඩ කොටසක් මේ වන විට අවසන් කර ඇති බව දැකීම සතුටට කරුණක් බවත්” ඉදිරි වසර දෙකහමාර තුළ මෙය නිම කිරීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් ජෙනරල් ගුණරත්න සඳහන් කළේය.

ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්‍ෂමතාවය පිළිබඳව සඳහන් කරමින් ඔහු පවසා සිටියේ සමාරම්භක දිනයේ සිට අද දින වනවිට ස්ථූපයේ අඩි 10 ක් පමණ උසක් සම්පූර්ණයෙන්ම ගඩොලින් බැඳ නිම කර ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා දානපතියන් විසින් ලබාදෙන වටිනා පරිත්‍යාගයන් අගය කළ ආරක්‍ෂක ලේකම්වරයා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ දීඝවාපිය භාරකාර අරමුදල යටතේ ලංකා බැකුවේ ‘දීඝවාපිය අරුණ’ නමින් පිහිටුවා ඇති ගිණුමට හැකි අයුරින් දායක වන ලෙසයි.

ආරක්‍ෂක ලේකම්වරයා තවදුරටත් පවසා සිටියේ ස්ථූපයේ ඉදිකිරිම් සඳහා අවශ්‍ය පිරිස් බලය වැඩි කර ඇති බව සහ ඒ අනුව නොබෝ කලකින් ස්ථූපයේ අඩි 12 ත් 15 ත් අතර උසක් සම්පූර්ණයෙන්ම ගඩොලින් බැඳ නිම කළ හැකි වනු ඇති අතර දීඝවාපිය පෙර තිබූ තත්වයට 2023 දී නැවතත් පත්වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ බැතිමතුන් සඳහා අංග සම්පූර්ණ විශ්‍රාම ශාලවක් සහ තුරු පිරි මනරම් පරිසරයක් ඇති කරන බවයි.

ධාතු මන්දිරය ඉදිකිරීම, ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලිය, ගස් සිටුවීම සහ අධීක්‍ෂණ කටයුතු පිළිබඳව අදාළ බලධාරීන් සමඟ මෙහිදී සාකච්ඡා කරන ලදි.

දීඝවාපිය ස්ථූප ප්‍රථිසංස්කරණය සඳහා ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක බලකාය විසින් සිදුකරන දැවැන්ත මෙහෙය දිරිමත් කිරිමේ අරමුණින් බෞද්ධයා මාධ්‍ය ජාලය විසින් ට්‍රැක්ටර් තුනක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.

මේ අතර, ප්‍රදේශයේ සිසුන්ගේ අධ්‍යාපන පහසුකම් සැලසීම සඳහා ටැබ්ලට් පරිගණක 20 ක් පාසල් හා පිරිවෙන් වෙත ලබා දෙන ලදි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වීරවංශ පවසා සිටියේ ලංකා පිඟන් සංස්ථාවේ සහය ඇතිව ගඩොල් නිෂ්පාදනය සිදුකිරිමට අපේක්‍ෂා කරන බවයි.

මෙම අවස්ථාවට මහා සංඝ රත්නය ඇතුළුව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් (විශ්‍රාමික), සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික), පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, ලංකා පිඟන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්‍රනාන්දු, ප්‍රාදේශිය ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලධාරින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, ගෘහ නිර්මාණ ශිල්පීන්, පුරාවිද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ රාජ්‍ය නිලධාරින් ද සහභාගී විය.