මෙරට එන්නත්කරණ වැඩසටහන WHO නියෝජිතවරියගේ පැසසුමට

ජුලි 16, 2021

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය වන වෛද්‍ය අලකා සිං මහත්මිය විහාර මහා දේවි උද්‍යානයේ යුද හමුදාව විසින් සිදුකරන ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට ඊයේ (ජූලි 15) පැමිණියා ය.

මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයාගේ එන්නතකරණ සැලසුම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා යුද හමුදාව ශ්‍රී ලංකාවේ ජාතික එන්නත් කිරීමේ මෙහෙයුමේ විශිෂ්ට කාර්ය භාරයක් ඉටුකරන බවයි.

එන්නත්කරණයේදී අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටි, නිසි පිළිවෙල සහ ඉදිරි දින කිහිපය සඳහා වන සැලසුම් පිළිබඳව ද වෛද්‍ය සිං මහත්මිය විසින් නිරීක්‍ෂණය කළ බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල, ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, සෞඛ්‍යය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ නිලධාරියෙක්ද එක්විය.

Sinhala.