මිලියන 31ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ජුලි 16, 2021

යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ දී ගංජා කිලෝ 103 ග්‍රෑම් 750 ක් සහිත ඩිංගි යාත්‍රාවක් සමග සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ (15) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා උතුරු නාවික විධානය විසින් උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන තිස් එකක් වටිනා මෙම කේරල ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත.

ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ මෙම සැකකටයුතු යාත්‍රාව පරික්ෂා කිරීමට යාමේදී සැකකරුවන් විසින් මෙම ගංජා පාර්සල් කිහිපය මුහුදට දමා පලා යාමට උත්සහ කර ඇත.

ජාත්‍යන්තර මුහුදු සීමාව හරහා ඩිංගි යාත්‍රාව මඟින් මෙම ගංජා තොගය දිවයිනට ගෙනඒමට උත්සාහ කර ඇතිබව නාවික හමුදාව පවසයි.

සැකකරුවන් අවුරුදු 20ත් 40 ත් අතර වයස්වල පසුවන පේදුරුතුඩුව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව සමග සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිසිය වෙත භාර දී ඇත.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මෙම මෙහෙයුම සිදුකර ඇති බව නාවික හමුදාව පවසයි.