නාවික හමුදාව තවත් ජල පිරිපහදු මධ්‍යස්ථානයක් එප්පාවල ස්ථාපනය කරයි

ජුලි 19, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථාන පරිශ්‍රයේ ප්‍රතිආසෘත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජුලි මස 7 වන දින ස්ථාපනය කරන ලදී.

උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පන්විල ගුණරතන හිමියන්ගේ ඉල්ලීමකට අනුව ඉදිකළ මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් විවෘත කරන ලදී.

සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථානයේ සහ අවට ගම්වාසීන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය පහසුකම් සලසන බව නාවික හමුදාව පවසයි.

ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක (නාවික සමාජීය මෙහෙවර) ව්‍යාපෘති, කපිතාන් ඩබ්. එල්. එන්. ගුණසේකර පවසන පරිදි මෙය නාවික හමුදාව විසින් මේ දක්වා ස්ථාපනය කරන ලද 858 වන ජල පිරිපහදු මධ්‍යස්ථානයයි.

උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක (නාවික සමාජීය මෙහෙවර) ව්‍යාපෘති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නාවික හමුදා සේවා වනිතා ඒකක කාර්ය මණ්ඩලයේ සීමිත පිරිසක් මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වූහ.