කිලිනොච්චිය සිවිල් වැසියන් සඳහා නිවාස 3ක් යුද හමුදාවෙන්

ජුලි 23, 2021

සහජීවනය  ප්‍රවර්ධනය කිරීම සහ කිලිනොච්චි හි සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය නංවාලීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් අඩු ආදායම්ලාභි පවුල් තුනක් සඳහා මෑතකදී තවත් නව නිවාස තුනක් ඉදිකර ඔවුන්ට භාර දෙන ලදි.

පූනරීන් කාසිකුඩා හි සින්නවි නවරත්නම් මහතා, කිලිනොච්චි මධුවිල්නාඩුවේ රාමනාදන් මනිවත්තන් සහ පිලිමන්තනාරු, මයිල්වානාපුරම් හි අරුමුගම් නාගුලේශ්වරන් යන මහත්වරුන් වෙත නිවාස සහ නිවාස සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ද සමග එම නිවාස භාර දුන් බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස්වල ශ්‍රම දායකත්වයෙන් හා දානපතියන්ගේ පරිත්‍යාග සමගින් මෙම ව්‍යාපෘතිය නිම කළ බව යුද හමුදාව පවසයි.

5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව , 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව විසින් අදාළ ව්‍යාපෘති සම්පූර්ණ කර ඇති අතර කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ආරම්භ කරන ලද නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව යුද හමුදාව තහවුරු කළේය.

COVID-19 වැළැක්වීමේ සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ නිවාස භාර දීමේ උත්සව සඳහා කිලිනොච්චිය ආරක්‍ෂක සේන‍ා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, භට පිරිස් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.