නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණය පිළිබඳව විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටී

ජුලි 24, 2021

අද (ජූලි 24) කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවර-එලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 75 ට වඩා තරමක් තද වැසි අපේක්ෂා කළ හැකිය.

උතුරු මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි වන අතර දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40-50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවද එහි සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ අනාවැකිය පවසයි.

මේ අතර, මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් පවසා සිටින්නේ පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගයපැ.කි.මී. (40-50) පමණ වේ.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 පමණ දක්වා වැඩි විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60 පමණ දක්වා වැඩි විය හැක.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.