යාපනයේදී ගංජා කිලෝග්‍රෑම් 417 ක් නාවික හමුදා භාරයට

ජුලි 29, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ පසු ගියදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 125ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 417යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අයත් පී 483 වේග ප්‍රහාරක යාත්‍රාව සමඟ පී 177 හා පී 178 යන වෙරළබඩ මුර යාත්‍රාවන් යොදා ගනිමින් මෙම මෙහෙයුම් සිදු කළ බව නාවික හමුදාව පවසයි.

එහිදී  සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමට යාමේදී එම සැකකටයුතු යාත්‍රාව මඟින් මලු කිහිපයක් මුහුදට දමා පලා යාම‍ට උත්සාහ කර ඇත. තවද, ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ කදවුර විසින් කුඩා යාත්‍රා යොදවා මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ වැඩිදුර සෝදිසි මෙහෙයුමක් මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රාවෙන් මුහුදට දමා තිබූ පොලිතීන් මලු 08ක් සොයාගෙන ඇත.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 125 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 20ත් 40ත් අතර වයසේ පසුවන තොන්ඩමනාරු සහ ගුරුනගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලවාලි පොලීසිය වෙත භාර ඇත.