සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය නුදුරේදීම

ජුලි 30, 2021
  • චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය 2021 අගෝස්තු මස 8 වෙනිදා සිට ආරම්භ වේ.
  • දිවයින පුරා විහාරස්ථාන 48 කදී මහජනයාට වැඳ පුදා ගත හැකිය.
  • කොත් වහන්සේ පැළන්දවීමේ පුන්‍යෝත්සවය 2021 නොවැම්බර් මස 18 දිනට.
  • සැදැහැවතුන් සඳහා ස්ථූපය විවෘත කිරීම 2021 නොවැම්බර් මාසයේදී.
  • සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුව ප්‍රදර්ශනය කරනු ලැබේ.

සදහිරුසෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මහජනයාට වැඳ පුදා ගැනීම උදෙසා පෙරහැරක් මගින් රට පුරා ප්‍රදර්ශනය කිරීම 2021 අගෝස්තු මස 8 වන දින ආරම්භ කරන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය.

ඒ අනුව, කොළඹ ගංඟාරාමය විහාරස්ථානයෙන් ආරම්භ වී දින 47 ක් පුරා සංචාරය කරමින් දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක් ආවරණය වන පරිදි විහාරස්ථාන 48 ක් වෙත මෙම පෙරහැර පැමිණෙනු ඇති බව ඔහු පැවසීය.

අදාළ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් ගත යුතු සෞඛ්‍ය ආරක්ෂණ පියවර ගැන සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුයේ අනවශ්‍ය ජනරාශීන් සිදු නොවන බවයි.

අද (ජුලි 30) දින ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ජෙනරල් ගුණරත්න පැවසුයේ, මෙහි ඉදිකිරිම් කටයුතු අවසන් වූ පසු දැවැන්ත සඳහිරුසෑය, උසින් රුවන්මැලි මහා සෑයට පමණක් දෙවැනි වන බවයි.

ඉදිකිරීම් ක්‍රියාවලියේ අවසන් අධියර පිළිබද සඳහන් කරමින් ආරක්ෂක ලේකම් ප්‍රකාශ කළේ, 2021 නොවැම්බර් මාසයේදී ස්තූපය බැතිමතුන් හට වන්දනා කිරීම සඳහා භාර දීමට බලාපොරොත්තුවන බවත්, චුඩාමාණික්‍ය එළිදැක්වීමේ පුන්‍යෝත්සවය නොවැම්බර් 18 වන දින පැවැත්වීමට නියමිත බවය.

මෙම පෙරහැර දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා ගමන් කිරීම සිදු කරන අතර, සෑම රාත්‍රී කාලයකම සවස 6.30 සිට රාත්‍රි 9.30 දක්වා සෑම ගමනාන්තයකදීම ජනතාවට වන්දනා කිරීම සඳහා විවෘතව තබන බව ව්‍යාපෘති භාර නිලධාරියෙක් මාර්ග සැලැස්ම පැහැදිලි කරමින් පැවසීය.

මේ අතර, රථවාහන පාලනය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස්පති සීඩී වික්‍රමරත්න පැවසුවේ, දෛනික ගමනාගමනයට  බාධාවක් නොවන පරිදි පෙරහැර ගමන් කිරීමේ කටයුතු සිදුකිරීමට අදාල පොලිස් කොට්ඨාශ වෙත දැනුම් දී ඇති බවයි.

ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීම සඳහා කැප වූ රණවිරුවන්ට පින් පිණිස පස්වන විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ආරම්භ කළ සඳහිරු සෑයේ ඉදිකිරීම් පිලිබඳ සිහිපත් කරමින් ඔහු පැවසුයේ, ත්‍රිවිධ හමුදාව, බෞද්ධ බැතිමතුන් සහ විවිධ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මෙය ගොඩනැගූ බවයි.

මෙම උත්සවය සංකේතවත් කරමින් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී මෙම පළමු මාධ්‍ය හමුව පැවැත්වුයේ, ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේද සහභාගීත්වයෙනි.   

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සීඩී වික්‍රමරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සහ මාධ්‍යවේදීන් මේ සඳහා සහභාගී වුහ.