හිටපු LTTE සාමාජිකයින්ට ස්වයං රැකියා සඳහා යුද හමුදාවෙන් මුල්‍යාධාර

අගෝස්තු 08, 2021

ජනාධිපති සමාව ලැබූ හිටපු LTTE සාමාජිකයින් 15 දෙනෙකුට ස්වයං රැකියා ආරම්භ කර රටේ නීතිගරුක පුරවැසියන් ලෙස සාමකාමී ජීවිතයක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මුදල් ත්‍යාග පිරිනැමීමක් ඊයේ (අගෝස්තු 07) දින යාපනය ජෙට්වින් හෝටලයේදී සිදුකරන ලදී.

කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

පුනරුත්ථාපනය කරන ලද හිටපු LTTE සාමාජිකයින් සඳහා ආදායම් මාර්ගයක් ලෙස ස්වයං රැකියාවක් කිරීම සඳහා රුපියල් 100,000 ක මුදලක් මෙහිදී ලබාදී ඇති අතර ඒ සඳහා සමාජ ක්‍රියාකාරිකයෙකු සහ දානපතියෙකු වන වාමදේවන් ත්‍යාගේන්ද්‍රන් මහතා අනුග්‍රහය ලබාදී ඇති බව යුද හමුදාව පැවසීය.

දැඩි සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වූ මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, යාපනය දිස්ත්‍රික් ලේකම් කනපති පිල්ලේ මහේෂන් මහතා සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.