සඳහිරු සෑයේ 'චූඩා මාණික්‍ය' සහ 'කොත්වහන්සේ' බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා බෙල්ලන්විල රාජමහා විහාරයේ තැන්පත් කෙරේ

අගෝස්තු 08, 2021

සඳහිරු සෑයේ පූජණීය කොත්වහන්සේ හා චූඩා මාණික්‍ය රැගත් පෙරහැර කොළඹ නගරයේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව අද (08) සවස වනවිට බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට වැඩමවන ලදි.

බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් විසින් 'චූඩා මාණික්‍ය' සහ 'කොත්වහන්සේ' භාරගත් අතර, එහිදී නාහිමියන් විසින් ධර්ම දේශනාවක් ද සිදුකරන ලදි.

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ද එම අවස්ථාවට සහභාගි වෙමින් එම පුජා වස්තු වෙත මල් පහන් පූජා කර වැඳ පුදා ගන්නා ලදි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ පවතින සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට අනුකූලව පූජණීය වස්තු ප්‍රදර්ශනය කෙරෙන බවයි.

බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා 'චූඩා මාණික්‍ය' සහ 'කොත්වහන්සේ' හෙට දින (අගෝස්තු 09) බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇත.

මහා සංඝරත්නය, විහාරස්ථාන දායක සභාව, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ බැතිමතුන් මෙම අවස්ථාවට සහභාගී විය.