ඇල්පිටියට ඇදන් 400 ක් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් යුද හමුදාවෙන්

අගෝස්තු 13, 2021

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඇල්පිටිය ඉගල්කන්ද ප්‍රදේශයේ අතහැර දමා තිබු ඇඟලුම් කර්මාන්තශාලාවක්, කොවිඩ්-19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර පසුගියදා ඇල්පිටිය මූලික රෝහල වෙත භාර දෙන ලදී.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇඳන් 400 ක් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහිත මෙම මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ බව යුද හමුදාව පැවසීය.

දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මුල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් 61 වන සේනාංකය, 613 වන බලසේනාව, 14 වන ගැමුණු හේවා බලඇණිය සහ 1 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්වල ශ්‍රම දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය නිම කළ බව යුද හමුදාව තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, ඇල්පිටිය රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ අබේවික්‍රම, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් කිහිපදෙනෙක් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.