පළාත් අතර ගමනාගමන සීමා සඳහා ත්‍රිවිධ හමුදා මාර්ග බාධක

අගෝස්තු 17, 2021

යුද, නාවික සහ ගුවන් හමුදා එක්ව පළාත් අතර මාර්ග බාධක යොදවමින් සංචරණ සීමා ක්‍රියාත්මක කිරිම සඳහා පොලිසීය වෙත සහය ලබා දී ඇත.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව, සංචරණ සීමා උල්ලංඝනය කර අතුරු මාර්ග හරහා ඇතුළුවීමට උත්සාහ කරන වාහන අත්අඩංගුවට ගෙන ඉදිරි පියවර ගැනීම සඳහා පොලිසිය වෙත භාර දීමට නියමිතය.

කොවිඩ්-19 පාලනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නියම කර ඇති පරිදි “අත්‍යවශ්‍ය සේවා” සඳහා පමණක් මාර්ග බාධක මඟින් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පළාත් අතර ගමනාගමනයට අවසර ලබාදෙන බව යුද හමුදා ආරංචි මාර්ග පැවසීය.

සේවා අවශ්‍යතා මත ආයතන විසින් කැඳවා ඇති පිරිස්වලට, සෞඛ්‍ය සේවකයින්ට, රාජ්‍ය සේවකයින්ට සහ අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදී සිටින අනෙකුත් අයට පළාත් අතර ගමන් කිරීමට අවසර ඇත.

නිල හැඳුනුම්පත්, රාජකාරි සඳහා වාර්තා කරන ලෙසට ලබාදී ඇති ලිඛිත ලිපි ලේඛන, වලංගු ඉලෙක්ට්‍රොනික ලියකියවිලි හෝ වෙනත් සාක්‍ෂි පරික්‍ෂා කිරීමෙන් පසුව පළාත් අතර ගමනාගමනයට ඉඩ ලබාදෙන බව ද යුද හමුදාව පවසයි.