මහ කන්නය සඳහා යුද හමුදාවෙන් කොම්පෝස්ට් පොහොර මෙට්‍රික් ටොන් 3600 ක්

අගෝස්තු 20, 2021

මේ වසරේ මහ කන්නය සඳහා අවශ්‍ය කොම්පෝස්ට් පොහොර මෙට්‍රික් ටොන් 3600 ක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිෂ්පාදනය කිරීමට අපේක්‍ෂා කෙරේ.

එයින් දැනටමත් මෙට්‍රික් ටොන් 1000 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බව යුද හමුදාව  පැවසීය.

රජයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නැංවීමේ අරමුණින් යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ මගපෙන්වීම මත නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ඔවුන්ගේ ඒකක කිහිපයකදී මෙම ව්‍යාපෘතිය සිදුකර ගෙන යන බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද ‘තුරු මිතුරු නව රටක්’ යුද හමුදා හරිත වැඩසටහනට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාව පවසයි