රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සහ කහ තොගයක් නාවික හමුදා භාරයට

අගෝස්තු 20, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 අගෝස්තු 19 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 168 ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් එම විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලගණයට අයත් පී 432 හා පී 484 වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ පී 177, Z 196, පී 015, පී 112, Z 183 යන වෙරළබඩ මුර යාත්‍රා යොදවා යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කරන ලදී. නාවික මෙහෙයුම් හමුවේ එම සැකකටයුතු ඩිංගි යාත්‍රාවෙන් මලු කිහිපයක් මුහුදට දමා සැකකරුවන් පලායාමට උත්සාහ කළ අතර, නාවික යාත්‍රා මඟින් සිදුකළ වැඩිදුර මෙහෙයුමක් මඟින් සැකකටයුතු යාත්‍රාවෙන් මුහුදට දැමූ පොලිතින් උර පහක් (05) තුල පාර්සල් 75ක අසුරා තිබූ කේරල ගංජා කිලෝ 168 ග්‍රෑම් 750 ක් සහ එම ඩිංගි යාත්‍රාව සැකකරුවන් තිදෙනෙකු සමඟින් නාවික හමුදා භාරයට ගන්නා ලදී. මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 50කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මීට අමතරව වයඹ නාවික විධානයේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලගණයට අයත් විශේෂ කණ්ඩායමක් සහ z 130 හා z 230 යන වෙරළබඩ මුර යාත්‍රා යොදා ගනිමින් කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සහ එම වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ඉප්පන්තිව් කළපුව ඇතුලත තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රවක් නිරීක්ෂණය කිරීමේදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ උර 21 ක අසුරා තිබු කහ කිලෝග්‍රෑම් 650 ක පමණ තොගයක් සහ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක්(03)ක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් කේරල ගංජා සහ සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 21 සහ 28 යන වයසේ පසුවන සිලාවතුර සහ මාමුනෙයි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දී ඇති අතර, වියලි කහ තොගය සමග අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා සින්නපාඩු රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

අනුග්‍රහය - www.navy.lk