ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් සහ තුර්කි ආරක්‍ෂක ඇමති අතර හමුවක්

අගෝස්තු 23, 2021

තුර්කියේ ඉස්තාන්බුල් හි පැවති 15 වන ජාත්‍යන්තර ආරක්‍ෂක කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී වූ අතර ඊට සමගාමීව පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 19) දින තුර්කි ජනරජයේ ජාතික ආරක්‍ෂක අමාත්‍ය හුලූසි අකාර් මහතාද හමුවිය.

මෙම සැසියේදී, ආරක්‍ෂක කර්මාන්ත ප්‍රදර්ශනය පිළිබඳව සිදුකල සාකච්ඡාවට අමතරව දෙරට අතර ආරක්‍ෂක සබඳතාද ශක්තිමත් කර ගන්නා ලදි.

තුර්කි ජනරජයේ අතිගරු ජනාධිපතිගේ අනුග්‍රහයෙන්, එරට ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ තුර්කි සන්නද්ධ හමුදා පදනමේ කළමනාකාරිත්වයෙන් TÜYAP ප්‍රදර්ශන ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම ජාත්‍යන්තර ආරක්‍ෂක කර්මාන්ත ප්‍රදර්ශනය, TÜYAP ප්‍රදර්ශන, සම්මේලන සහ කොන්ග්‍රස් මධ්‍යස්ථානයේදි 2021 අගෝස්තු 17 සිට 20 දින දක්වා පැවැත්විය.

නවීන අවි ආයුධ, ගොඩබිම් වාහන, ඉලෙක්ට්‍රොනික හමුදා උපකරණ, නාවික ක්ෂේත්‍රයේ නිපැයුම්, ගුවන් සේවා පද්ධති, සැපයුම් වාහන, සැපයුම් උපකරණ සහ ආරක්‍ෂක උපකරණ ඇතුළු ආරක්‍ෂක ක්ෂේත්‍රයේ විවිධ නිපැයුම් රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරිණ.

තවද අභ්‍යවකාශ අධ්‍යයනය, අනාගත තාක්‍ෂණය සහ ඩිජිටල් පරිවර්තනය වැනි විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව වැදගත් තොරතුරු රැසක්ද දින හතරක් පුරා පැවති මෙම ප්‍රදර්ශනයේ අන්තර්ගත විය.

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති අතිගරු එම් ආර් හසන් මහතා, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර සහ ‌ආරක්‍ෂක ලේකම්ගේ යුද සේවා සහයක කර්නල් කේඩබ්ලිව් ජයවීර යන නිලධාරින්ද මේ සඳහා සහභාගී වුහ.

අනුග්‍රහය - www.aa.com.tr