මහජන චීනයෙන් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට සයිනොෆාම් එන්නත් 300,000 ක්

අගෝස්තු 28, 2021

මහජන චීන ජනරජයෙන් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් සඳහා ලැබුණු සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක තොගය අද (අගෝස්තු 28) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් වෙතින් නිල වශයෙන් ලබා ගන්නා ලදි.
 
මෙහිදී මාධ්‍ය අමතමින් ආරක්‍ෂක ලේකම් පැවසුයේ, මෙම එන්නත් හමුදා සාමාජිකයින්, ආබාධිත හමුදා සාමාජිකයින්, රණවිරුවන්ගේ වැන්දඹුවන්/ ඔවුන්ගේ යැපෙන්නන්ට සහ විශ්‍රාමික රණවිරුවන් හට ලබාදීමට අපේක්‍ෂා කරන බවයි.

මේ වන විටත් හමුදා සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් එන්නත් කර ඇති හෙයින් ඉතිරි එන්නත් තොගයෙන් කොටසක් සාමාන්‍ය ජනතාවට ලබාදීමට පහසුකම් සලසාදිය හැකි බවට ද සඳහන් කරන ලදි.

මේ අතර, කාලීන වශයෙන් ඉතා වැදගත් වන මෙම සහයෝගය වෙනුවෙන් මහජන චීන ජනරජය, චීන ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ඔවුන්ගේ ආරක්‍ෂක ඇමති වෙත ජෙනරල් ගුණරත්න සිය කෘතඥතාව පළ කළේය.

දෙරට අතර පවතින දිගුකාලීන සබඳතාවය පිළිබඳව සිහිපත් කරමින් ජ්‍යෙෂ්ඨ කර්නල් ඩොන්ග් පැවසුයේ, දුෂ්කර අවස්ථාවලදී ශ්‍රී ලාංකිකයින්ට තම සහයෝගය ලබාදීමට චීන ජනතාව පසුබට නොවන බවයි.

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම එන්නත් තොගය විශාල ලෙස සහාය වනු ඇති බවද ඔහු පැවසීය.

චීන ආරක්‍ෂක ඇමති ජෙනරල් වෙයි ෆෙන්ග්හි, මෙම වසරේ අප්‍රේල් මස සිදුකළ නිල ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහජන චීන ජනරජයේ ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මෙම එන්නත් තොගය පරිත්‍යාග කරන ලදි.

ජෙනරල් ගුණරත්න විසින් මෙම අවශ්‍යතාවය, දෙරටෙහි නිලධාරීන් අතර පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවේදී පෙන්වා දෙනු ලැබුවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් සිදුකරන විශාල කාර්ය භාරය හේතුවෙනි.

දෙරට අතර හමුදාමය සහයෝගීතාවය යටතේ මහජන චීන ජනරජයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත ලබාදෙන මෙම සයිනොෆාම් එන්නත් තොගය රැගත් ශ්‍රීලංකන් ගුවන් යානය අද දිවයිනට පැමිණි අතර මෙම එන්නත් තොගය නිල වශයෙන් භාරගැනීම සඳහා දෙපාර්ශවය අතර ලිපි ලේඛණ අත්සන් කිරීමද මෙහිදී සිදුවිය.

දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මෙම අවස්ථාව සංවිධානය කර තිබිණ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් මේ අවස්ථාව සඳහා සහභාගී වුහ.