වෘත්තිමය හමුදා සෙබළුන් ලෙස සාර්ථකව පුහුණුව නිමකල සිංහල, දමිළ හා මුස්ලිම් ආධුනික සෙබළුන් විසිරයයි

අගෝස්තු 29, 2021

යාපනය, විඩත්තප්පලෙයි බළඇණි පුහුණු පාසලේදී පුරා මාස 4 කට අධික කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබළුන් 340 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘වර්ෂ 2020 – 2025 ඉදිරි උපාය මාර්ගික සැලැස්මට’ (Way Forward Strategy 2020 -2025) සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආධුනික සෙබළුන් බඳවාගැනීමේ පළමු අදියර යටතේ බඳවාගත් ආධුනික සෙබළුන් 340 දෙනා එකිනෙකාට වෙනස් ජනවර්ග වුවද එක් පවුලක සාමාජිකයින් ලෙස සාර්ථකව පුහුණුව හදාරා වෘත්තිමය සෙබළුන් වශයෙන් විසිරයන ලදී.

බළඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකගේ ආරාධනයට අනුව මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු 522 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුසන්ත හෙට්ටිගේ විසිරයන ආධුනික සෙබළුන් අමතමින් යුද්ධ හමුදා සාමාජිකයින් ලෙස විනය ඉහළ මට්ටමක පවත්වාගැනීමේ සහ රාජකාරී නිසි ලෙස ඉටු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

තවද, විශ්වාසනියත්වය සහ ඵලදායිතාවය ආරක්‍ෂා කරගනිමින් යුද්ධ හමුදා සාමාජිකයින් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම්වලට ගරු කරමින් රටේ සහ මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා කටයුතු කරන මෙන් එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසිරයන ආධුනික සෙබලුන් අමතමින් වැඩිදුරටත් පැවසීය.

සංහිදියාව, සමගිය සහ සහෝදරත්වය සංකේතවත් කරමින් විඩත්තප්පලෙයි බළඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් ආර්.එම්. සෙනෙවිරත්නගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ එම බළඇණි පුහුණු පාසලේදී මෙම ආධුනික සෙබළුන් පුහුණු කරන ලදී.

පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ආධුනික සෙබල එම්. විනුෂිකන් විසින් හිමිකරගත් අතර පාඨමාලාවේ සෑම අතින්ම අතීශූර සෙබලාට හිමි සම්මානය ආධුනික සෙබල ජි.එස්.කේ.එම්. ආරච්චි විසින් හිමිකරගත්හ. පාඨමාලාවේ හොඳම ශාරිරික යෝග්‍යතාවය හෙබි සිසුවාට හිමි සම්මානය හිමිකරගැනීමට අධුනික සෙබල ඊ.ටී. කුමාර සමත්විය. පාඨමාලාවේ දක්‍ෂතා දැක්වු ආධුනික සෙබලුන්ට ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් එහිදි සම්මාන ප්‍රදානය කෙරිණි. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති මෙම විසිරයාමේ පෙළපාලිය දැකබලාගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වුහ.

සෞඛ්‍යාරක්‍ෂිත හේතුන් මත විසිරයන ආධුනික සෙබලුන්ගේ දෙමාපියන්ට සහ ඥාති හිතමිත්‍රාදීන්ට මෙම අවස්ථාවට සහභාගිවිමට නොහැකි විය.

අනුග්‍රහය - www.army.lk