ආරක්‍ෂක ලේකම් සඳහිරු සෑය ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්‍ෂණය කරයි

අගෝස්තු 29, 2021

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අනුරාධපුර සඳහිරු සෑය ඉදිකිරීම් භූමියේ නිරීක්‍ෂණ චාරිකාවකට අද (අගෝස්තු 29) එක්වෙමින් ඒ හා අනුබද්ධ විවිධ ව්‍යාපෘති වල නියමිත වැඩ වල ප්‍රගතිය සමාලෝචනයට ලක් කරන ලදි.

රටේ විශාලතම චෛත්‍යයන්ගෙන් එකක් වන මෙම ස්තූපයේ ඉදි කෙරෙන දොලොස්මහ පහන, ගල් කැටයම් සහ යෝජිත බෝධිඝරයේ වැඩකටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර බැතිමතුන්ගේ වාහන නැවැත්වීම සඳහා වෙන් කෙරෙන භූමි ප්‍රදේශය ද ජෙනරල් ගුණරත්නගේ නිරීක්‍ෂණයට ලක් විය.

මේ අතර බුද්ධ මන්දිරය සහ කෞතුකාගාරය ඉදිකරන ස්ථානවලට ද සංචාරය කළ ඔහු ශෛලමය පාෂාණ වලින් නිම කෙරෙන සළපතල මළුවේ ඉතිරි වැඩ කටයුතු පිළිබඳව ද සමාලෝචනය කළේය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නියමිත සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශයන්ට අනුකූලව එම ස්ථානයේ සියලුම වැඩ කටයුතු සිදු කෙරේ.

චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ ජනතා ප්‍රදර්ශනයෙන් අනතුරුව සෑය මත තැන්පත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇත.

දීපව්‍යාප්ත නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් එම පූජනීය වස්තු මේ වන විට කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇත.

වැඩ නිම කිරීමෙන් පසු මෙම ස්ථූපය සොලොස්මස්ථාන අතර පිහිටි විශාලතම චෛත්‍යයක් ලෙස ද සැලකේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ව්‍යාපෘති නිලධාරින් ද මෙම සංචාරයට එක් විය.