කිලෝ 325 කට අධික ගංජා ප්‍රමාණයක් හමුදා අත්අඩංගුවට

අගෝස්තු 30, 2021

මන්නාරම මුරුංගන් පන්නිවෙට්ටුවාන් මාර්ග බාධකයේදී කිලෝ 183 යි ග්‍රෑම් 715 ක් පමණ වන කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයක් නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් පසුගිය දිනක අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව භට පිරිස් සහ මුරුංගන් පොලිසිය විසින් සැක කටයුතු ලොරි රථයක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබු ඖෂධ ඇතුළු වෙනත් නිෂ්පාදන අතර සඟවා ප්‍රවාහනය කරමින් තිබූ මෙම ගංජා තොගය සොයා ගත් බව නාවික හමුදාව පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 සහ 34 වයස්වල පසුවන මහනුවර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ගංජා තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 55 කට අධික යැයි විශ්වාස කෙරේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුරුංගන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් පසුගිය දිනක චලෙයි ප්‍රදේශයේ පුදුමාතලන්, පට්ටිකරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ගංජා කිලෝග්‍රෑම් 142.2 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගංජා තොගය ඉදිරි විමර්ශන සඳහා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාර දී ඇත.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ පියවරයන්ට අනුකූලව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.