ශ්‍රී ලංකා ‌ආරක්‍ෂක ලේකම් සහ රුසියානු ‌ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් අතර හමුවක්

සැප්තැම්බර් 02, 2021

‌ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මෑතකදී සිදුකල රුසියානු නිල සංචාරයේදී රුසියානු ‌ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි ප්ලැටොනොවිච් පට්රුෂෙව් මහතා හමුවිය.

මෙහිදී, ‌ආරක්‍ෂක හා හමුදාමය තාක්‍ෂණික සහයෝගීතාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විණි.

රුසියාවේ ‌ආරක්‍ෂක කවුන්සිලය සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිත ආයතන හරහා දෙරට අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙහි අරමුණ බව දෙපාර්ශයේම ඉහළ නියෝජිතයින් දෙදෙනා විසින් තහවුරු කරන ලදී.

තවද, දෙරටේ ජනතාව සහ රජයන් අතර පවතින දිගු කාලීන සබඳතා පිළිබඳව සිහිපත් කරමින්, අන්තර්ජාතික තලයේ සහ ද්විපාර්ශ්වික සබඳතාවලදී ශ්‍රී ලංකාවට ලබා දුන් නොමැකෙන සහයෝගය පිලිබඳ ශ්‍රී ලංකාවේ ‌ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න, රුසියානු රජයට සිය කෘතඥතාවය පල කළේය.

ශ්‍රී ලංකා ‌ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර සහ ශ්‍රී ලංකා ‌ආරක්‍ෂක ලේකම්ගේ යුද සේවා සහයක කර්නල් විජයනාත් ජයවීර ඇතුළු පිරිසක් මෙම ශ්‍රී ලංකා ‌ආරක්‍ෂක නියෝජිත කණ්ඩායමට එක් විය.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ගෲප් කැප්ටන් ධම්මික ඩයස් ද මෙම සඳහා සහභාගී විය.