තවත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

සැප්තැම්බර් 07, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (සැප්තැම්බර් 6) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 38 ග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) අත්අඩංගුවට ගන්නා ලදී.

නාවික හමුදා උතුරු නාවික විධානය මඟින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදේ දමා යන ලද පාර්සල් 10ක අසුරන ලද මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කේරල ගංජා තොගයේ මුළු වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 11 ක් පමණ වන බවට නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශයන්ට අනුකූලව මුළු මෙහෙයුම සිදු කළ බව නාවික හමුදාව තහවුරු කළේය.